කැලෑ 'ගිනි තැබීම්' ඉහළ යාමේ ප්‍රවණතාවක්

Image caption කිරිගල්පොත්ත රක්ෂිතයේ ඇතිවූ ගින්න

නුවරඑළිය සහ නුවර ඇතුළු ශ්‍රී ලංකාව පුරා දිස්ත්‍රික්ක ගණනාවක කැලෑ ගිනි ගැනීමේ අවස්ථාවන් රැසක් වාර්තා වී තිබේ.

මේවායින් බොහොමයක් ස්වභාවික ගිනි ගැනීම් නොව ‘ගිනි තැබීම්’ බවට වාර්තා වී ඇති හෙයින් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි ප්‍රකාශ කළේ.

පොලීසියේ හා යුද හමුදා නිලධාරීන් මෙම තත්වය පිළිබඳව විමසිල්ලෙන් පසුවන බව පැවසූ ඔහු ඔහු විස්තර කළ ආකාරයට පාරිසරික හානි අවම කර ගැනීම පිණිස මෙන්ම ඉදිරියේ දී ඇතිවිය හැකි ආපදාමය තත්වයන් අවම කර ගැනීමට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයන් හරහා ජනතාව දැනුවත් කිරීම ආරම්භ කර තිබේ.

හන්තාන ප්‍රදේශයේ ද ගිනි ගැනීම් කිහිපයක් වාර්තා වී ඇති අතර මේවා මැඩලීම සඳහා අධික පිරිවැයක් යෙදවීමට සිදුව ඇති බව පවසන ප්‍රදීප් කොඩිප්පිලි, පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් හෝ වෙනත් හේතු මත සිදුවන කැලෑ ගිනි ගැනීම් පිලිබඳ ජනතාව දැනුවත්ව සිටීමෙන් සිදුවන හානිය අවම කර ගත හැකි බවයි සඳහන් කළේ.