තොරතුරු දැන ගැනීමේ පනත නමට විතරයි-කෙහෙළිය

රජය විසින් ඉදිරිපත් කිරීමට යන තොරතුරු දැන ගැනීමේ පණත් කෙටුම්පතේ තමාට ලැබුණ පිටපත අනුව ‘එවැනි පනතක් තිබීමේ හෝ නොතිබීමේ වෙනසක් නැතැයි’ හිටපු ජන මාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

තොරතුරු දැන ගැනීමේ නව පනත් කෙටුම්පත පිළිබඳව බීබීසී සංදේශය විසින් කරන ලද විමසීමක දී හිටපු ජනමාධ්‍ය ඇමතිවරයා කියා සිටියේ ‘යෝජිත පනත් කෙටුම් පතේ අවංකභාවය සහ සැබැවින්ම එහි අර්ථය මගින් සැබෑ උවමනාවක් ඉදිරිපත් වෙන්නේද යන්න පිළිබඳව ප්‍රශ්නයක් පැන නගින’ බවයි.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ වසර නවයක තරම් දීර්ඝ කාලයක් ඇතුළත එවැනි තොරතුරු දැන ගැනීමේ පනතක් ඉදිරිපත් කිරීමට පියවර නො ගැනීම පිළිබඳව බීබීසිය ප්‍රශ්න කළ විට ‘එම පාලනයේ මුල් අවුරුදු වල ඒ ගැන කතිකාවක් නොතිබුණ අතර එවැනි අවශ්‍යතාවයක් පිළිබඳ සාකච්ඡා මතු වුණේ එහි අවසාන අවුරුදු වල’ බවයි කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ජනමාධ්‍ය ඇමතිවරයා සඳහන් කළේ.

ප්‍රමාදයට හේතුව

එවකට විපක්ෂයේ මන්ත්‍රීවරයකු වූ වත්මන් කතානායක කරු ජයසූරිය විසින් සභාගත කරන ලද තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත පිළිබඳව සඳහන් කළ ඇමතිවරයා ‘මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් පිළිබඳ තීන්දු තීරණ හදිසියේ ගත හැකි නොවන බවත්’ කියා සිටියේ ය.

වත්මන් ආණ්ඩුවේ දින සීයේ වැඩ සටහනට ද ඇතුළත් වූ තොරතුරු දැන ගැනීමේ පනත මෙතෙක් ප්‍රමාද වීමට හේතුවද එය විය හැකිය යන්න ඔහුගේ අදහසයි.

ප්‍රමාද වී හෝ වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කරන පනත් කෙටුම්පතේ අඩංගු කරුණු අනුව එය සැබවින්ම තොරතුරු දැන ගැනීමේ පනතක් ද යන ප්‍රශ්නය පැන නගින බවත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ ශක්‍යතාවක් නැත්නම් එය ප්‍රයෝජනයක් නොමැති නාමික වැඩ පිළිවෙලක් පමණක් වන බවත් ඔහු පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මිණුම

වත්මන් ආණ්ඩුවේ පනත ලෝකයේ ප්‍රබලම තොරතුරු දැන ගැනීමේ පනතක් හැටියට ජාත්‍යන්තර සංවිධාන සහ සිවිල් සංවිධාන විසින් කරනු ලබන විග්‍රහය පිළිබඳව විමසීමක් කළ විට හිටපු ජන මාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ ඔහුට ලැබී ඇති කෙටුම්පත අනුව එවැනි තත්වයක් නොපෙනෙන බවයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත ලෝකයේ 'හත් වන හොඳම තොරතුරු දැන ගැනීමේ පනත' ලෙස අන්තර්ජාතික සංවිධාන විසින් නම් කොට ඇති බවයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආචාර්ය රංග කලන්සූරිය පසුගියදා බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවක දී සඳහන් කළේ.

‘සිවිල් සමාජය ගැන අපට කොහෙත්ම විශ්වාසයක් නැහැ. මොකද? ඔය සිවිල් සමාජය තමයි තොරතුරු දැන ගැනීමේ පනතක් ගැන කතා කළේ. ඒ වගේම ආණ්ඩුව පෙරළීමේ ,ආණ්ඩුව වෙනස් කිරීමේ ප්‍රධාන හවුල්කරුවන් හැටියට සිටියේ ඔය කියන කණ්ඩායම් තමයි. ඒ නිසා ඔවුන්ගේ ප්‍රකාශන මිනුම් දණ්ඩක් හැටියට අපට භාර ගන්න බැහැ’ කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයා පවසයි.

ඒකාබද්ධ විපක්ෂයේ ස්ථාවරය

වත්මන් ආණ්ඩුවේ තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුව තුළ සහයෝගය දෙන්නේදැයි බීබීසිය විමසූ විට හිටපු ඇමතිවරයා කියා සිටියේ ‘ඇතැම් විට විපක්‍ෂයෙන් ඊට සංශෝධන ඉදිරිපත් විය හැකි’ බවයි.

වැදගත් වන්නේ පනතේ නම නොව එහි අන්තර්ගතය සහ ඉන් ලැබෙන ප්‍රයෝජනය යයි සඳහන් කළ හිටපු ජනමාධ්‍ය ඇමතිවරයා විපක්ෂය එම කරුණු සලකමින් තීන්දු තීරණ ගන්නා බවයි ප්‍රකාශ කළේ.