මධ්‍යම කඳුකරයේ වන ගිනි: 'තිදෙනෙකු අත්අඩංගුවට'

Image caption ගින්නට හසු වී බෝපත්තලාව කිරිගල්පොත්ත රක්ෂිතයට අයත් අක්කර හත්සීයක් පමණ විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමේ ජල පෝෂක ප්‍රදේශවලට අයත් රක්ෂිත සහ ෆයිනස් වගා ආශ්‍රිත හට ගත් ගිනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදු වී ඇති බව වාර්තා වේ.

බෝපත්තලාව කිරිගල්පොත්ත රක්ෂිතයට ගිනි තැබූ බවට සැක කෙරෙන වතු කම්කරුවකු ඩයගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් දෙදෙනකු සොයමින් සිටින බව මාධ්‍යවේදී රංජිත් රාජපක්ෂ පැවසීය.

මීට දින දෙකකට ඉහතදී හට ගත් එම ගින්නට හසු වී අක්කර හත්සීයක් පමණ විනාශ වී ඇති බවත් ඔහු පැවසීය.

ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා යොදා ගෙන ඇති අතර සඳුදා රාත්‍රිය වන විට ගින්න සම්පූර්ණයෙන් මැඩපැවැත්වීමට හැකි වී තිබේ.

තවත් ගින්නක්

මේ අතර තලවකැලේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ 'සෙන් ක්ලෙයාර්' දිය ඇල්ල ආසන්නයේ ගිනි ගෙන ඉතිරි වූ කැලෑ තීරුවකට ගිනි තැබීමට උත්සාහ කළ කාන්තාවන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වටවල පිහිටි ෆයිනස් වගාවකට යමි කිසි පිරිසක් විසින් ගිනි තබා ඇති බවත් එම ගින්න මේ වන විට සීග්‍රයෙන් පැතිරී යන බවත් ඔහු කියා සිටියේය.

රටේ බොහෝ ප්‍රදේශවල උෂ්ණාධික කාලගුණයක් පවතින නමුත් මධ්‍යම කඳුකරයේ පවතින තෙත් කාලගුණය යටතේ ලැව් ගිනි හට ගැනීමට ඉඩක් නොමැති බවත් ඔහු පැවසීය.

සතුන් දඩයම් කිරීමට සහ දර සොයා ගැනීමේ අරමුණින් මෙලෙස ඇතැම් ප්‍රදේශවාසීන් කැලෑ ගිනි තබන බව අතර ඇතැම් තරුණ පිරිස් විනෝදය පිණිස කැලෑ ගිනි තබන බවක් පෙනී යන බවත් ඔහු පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර