වරාය නගර ව්‍යාපෘතිය: 'අගමැතිතුමා පොරොන්දු කඩ කරලා'

Image copyright Getty

වරාය නගර ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීම තුළින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලබා දුන් ජනතා පොරොන්දුවක් කඩ කොට ඇති බව පෝට්සිටි විරෝධී ව්‍යාපාරයේ සම කැඳවුම්කරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා පවසයි.

හලාවත සිට හික්කඩුව දක්වා වූ වෙරළ තීරයේ විනාශයට බලපාන වරාය නගර ව්‍යාපෘතිය තමා බලයට පැමිණි වහාම නතර කරන බවට අග්‍රාමාත්‍යවරයා අවස්ථා තුනකදීම පොරොන්දු වූ බවයි එතුමා කියා සිටියේ.

පියතුමන් ඒ බව සඳහන් කළේ වරාය නගර ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් කිතුනු ජනතාව විසින් මීගමුවේදී පවත්වන ලද පාදනමස්කාරයක් අතරතුරදී.

අගමැතිතුමා ජනතාවගේ අදහස්වලට, හැඟීම්වලට, අපේක්ෂාවන්ට පටහැනිව මේ ක්‍රියාව කරන්නේ. මේක ප්‍රජාතන්ත්‍ර විරෝධී, යහපාලන විරෝධී ක්‍රියාවක්’ සරත් ඉද්දමල්ගොඩ පියතුමා පැවසූහ.

'ඡන්ද පොරොන්දු'

වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව මේ වන විට අධිකරණයේ නඩු දෙකක් විභාග වෙමින් තිබියදී ලබන මස 04 වනදා අගමැතිවරයා චීනයට ගොස් වරාය නගර ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවට වාර්තා වී ඇති බව මීගමුව ජනාවබෝධ කේන්ද්‍රයේ අධ්‍යක්ෂ නීතිඥ වින්සන් බුලත්සිංහල කියා සිටියේය.

'මේක කලින් පොරොන්දු වුණු දෙයක්. මේකෙන් පරිසර හානි තියනවා, නවත්වනවා කියලා ඡන්දයට පෙර මිනිස්සුන්ට දුන්නු පොරොන්දු කඩ කරමින් තමයි පාලකයෝ මේ ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කරන්න හදන්නේ' නීතිඥවරයා පැවසීය.

කිතුණුවන් පාස්කු සමයේ සාමාන්‍යයෙන් පාදනමස්කාරය පවත්වනු ලබන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහි කිරීම සඳහායි.

ඉහත කී පාදනමස්කාරයේදී ක්‍රිස්තුස්වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහි කරමින් වරාය නගර ව්‍යාපෘතිය නවතා දෙන ලෙසට දේව කන්නලව්වක්ද සිදු කැරිණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර