ජාත්‍යන්තර ත්‍රස්ත ප්‍රහාර: කටුනායක ආරක්ෂාව තර කෙරෙයි

Image copyright Getty

බ්‍රසල්ස් ප්‍රහාරය සහ ජාත්‍යන්තර ත්‍රස්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය සලකා බලා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ආරක්ෂාව තර කිරීමට කටයුතු කරමින් සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ජාත්‍යන්තරයේ දැනට පවතින ත්‍රස්ත ප්‍රහාර දෙස අවධානය යොමු කොට කටුනායක ගුවන් තොටුපලේ ආරක්ෂාව ශක්තිමත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය දෙසැම්බර් මාසයේදී උපදෙස් ලබා දුන් බවයි ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි කියා සිටියේ.

මේ අතර සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිති කර ගනිමින් උතුරේ පිහිටි සංහිඳියාවේ ගම්මානය විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් බදාදා ආරක්ෂක අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.

'ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තහවුරු කර ගනිමින් ඉදිරියට යන, ජාති ආගම්, කුල භේදවලින් තොර ශක්තිමත් ජාතියක් ලෙස නැගී සිටීම සඳහායි අපි කටයුතු කරන්නේ' ඔහු පැවසීය.

සංහිඳියා ගම්මානයක් ඉදි කිරීම උතුර සහ දකුණ අතර තිරසාර සංහිඳියාවක් ඇති කිරීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙලේ කොටසක් බවත් ඔහු කියා සිටියේය.

යාපනය වැසියන්ගේ ඉඩම්වලින් අක්කර 3700 කට ආසන්න ප්‍රමාණයක් නැවත බෙදා දී ඇති බවත් ඔහු පැවසුවේය.

'ඒ වගේම අපිට ආපසු ලබා දෙන්න නොහැකි ස්ථාන තිබෙනවා.ඒවා ආරක්ෂාව පැත්තෙන් සලකන විට එක්තරා ආකාරයකට මර්මස්ථාන. එවැනි ස්ථාන අප සතුව තබා ගෙන ඒ සඳහා වන්දි ලබා දෙනවා,' ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි වැඩිදුරටත් කියා සිටියේය.