විදුලි මෝටර් රථ '100 ක් වරායේ හිරවෙලා'

Image caption විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථවලට විදුලි බලය සැපයීමේ පළමු මධ්‍යස්තානය පසුගිය වසරේ අප්‍රේල් මාසයේ විවෘත කෙරිණ

විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථවලින් අය කරන තීරු බදු විශාල වශයෙන් ඉහල දැමීම හේතුවෙන් අය වැයට කලින් ඇනවුම් කරන ලද මෝටර් රථ පනහත්, සියයක් අතර ප්‍රමාණයක් මාස ගණනාවක් මුළුල්ලේ වරායේ සිර වී තිබෙන බව ව්‍යාපාරිකයෝ පවසති.

වත්මන් ආණ්ඩුවේ මංගල අය වැයට ප්‍රථම විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථවලින් අය කරනු ලැබුවේ රථයේ වටිනාකමින් සියයට පහක් පමණක් බව පෙන්වාදෙන ව්‍යාපාරිකයෝ, එය සියයට 50 ක් දක්වා ඉහල දැමීම හේතුවෙන් තමන් මේ අර්බුදයට මුහුණ පා සිටින බවත් පවසති.

ඒ අනුව උදාහරණයක් වශයෙන් නිසාන් වර්ගයේ රථයක් සඳහා කලින් රුපියල් ලක්ෂ දෙකක් වූ තීරු බද්ද රුපියල් ලක්ෂ විසි හයක් පමණ දක්වා එක්වරම ඉහල ගිය බවයි, ඉනවේෂන් ෂිපින් ලයින් ආයතනයේ කළමනාකරු මහේෂ් විද්‍යාරත්න බීබීසී සංදේශයට කියා සිටියේ.

'බිස්නස් කරන්න බෑ'

අය වැයෙන් අනතුරුව ආණ්ඩුවෙන් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාරයක් වශයෙන් පුද්ගලික ප්‍රයෝජනය සඳහා ආනයනය කරන ලද වාහනවලට බදු සහනයක් ලබා දුන් නමුත්, ව්‍යාපාරිකයන්ට එම සහනය ලබා නොදීම වාහන මෙසේ සිරවීමට හේතුව බවයි ඔහු පවසන්නේ.

විශේෂයෙන්ම වාහන ආනයනකරුවන්ගේ සංගමය මේ ගැටලුව කිහිපවතාවක්ම ආණ්ඩුවට ඉදිරිපත් කළ නමුත් මෙතෙක් විසඳුමක් නොලැබුන බවත් මහේෂ් විද්‍යාරත්න පැවසීය.

"ඉතින් මෙහෙම වාහන ගෙනල්ල බිස්නස් කියන එකක් කරගන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ."

පරිසර හිතකාමී මෙම වාහන රේගුවෙන් නිදහස් කරගැනීම පිණිස සහනයක් ලබා නොදෙන්නේ මන්දැයි විමසීම පිණිස මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.