ආණ්ඩුව කරන්නේ මහජනයා රැවටීමක්-විග්නේශ්වරන්

Image copyright Dushyanthini Kanagasabapathipillai

ශ්‍රී ලංකා ආණ්ඩුව නව ව්‍යවස්ථා සංශෝධනයකට යොමු වීම කෙරෙහි තමන් දැඩි ලෙස සතුටට පත්ව සිටියත්,දැන් එය රටේ ජනතාව මෙන්ම සුලු දේශපාලන පක්ෂ රැවටීම සඳහා ගන්නා උත්සාහයක් ලෙස පෙනී යන බව උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී.විග්නේශ්වරන් පවසයි.

යාපනයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් මහ ඇමතිවරයා කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය විසින් ව්‍යවස්ථා සංශෝධනයේ දී සිදු කළ යුතු කරුණු පිළිබඳව රජයට යෝජනා මාලාවක් ඉදිරිපත් කොට ඇති බවයි.

උතුරේ මහජනතාව මෙන්ම මහජන සංවිධාන විසින් ඉදිරිපත් කරණ ලද අදහස් අනුව උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳීමට ඇති එකම ක්‍රමය ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදා හැරෙන පෙඩරල් ක්‍රමයක් ස්ථාපිත කිරීම බව එම යෝජනා මාලාවේ ඇතුළත් වෙන බවයි මහ ඇමතිවරයා පවසන්නේ.

ෆෙඩරල් විරෝධය

දෙමළ ජනතාව සඳහා බලය බෙදා හැරීම පිළිබඳව දකුණේ සිංහල දේශපාලන පක්ෂ හා සංවිධාන දක්වන බලවත් විරෝධය නිසා රජයත් නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අලස හා උදාසීන ප්‍රතිපත්තියක් අනුගමනය කරණ බව මහ ඇමතිවරයාගේ අදහසයි.

දෙමළ ජනතාවට බලය ලැබෙන පාලන ක්‍රමයකට දකුණේ පිරිස් විරුද්ධවීම පිළිබඳව තමන් විමතිය හා කණගාටුව ප්‍රකාශ කරණ බව සඳහන් කළ මහ ඇමතිවරයා රජය විසින් ඉදිරි කාලයෙහි නව ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කරනු ඇත යන බලාපොරොත්තුව උතුරේ දේශපාලනඥයින් මෙන්ම මහජනතාවත් තවමත් අතහැර නොමැති බවයි සඳහන් කළේ.

මහ ඇමති සමුළුව

මෙවර මහ ඇමති සම්මේලනයට තමා සහභාගි නොවූයේ ශල්‍ය කර්මයකට භාජනය වීමට නියමිතව තිබූ නිසා මිස දේශපාලන කාරණාවක් නොවන නිසා නොවන බවත් මහ ඇමතිවරයා පවසයි.

මහ ඇමති සම්මේලනයට තමා සහභාගී නොවීම සම්බන්ධයෙන් දේශපාලන කරළියේ වෙනත් ආරංචි පතුරුවා හරිමින් ඇතත් එම ප්‍රකාශන වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි මහ ඇමති සී.වී.විග්නේශ්වරන් කියා සිටින්නේ.