කිසිදු සරසවියක නවක වධයක් නැහැ-අ.වි.ශි.බ.මණ්ඩලය

සරසවි තුළ නවක වදය දීම් සිදු වේනම් තමන් ඊට සහමුලින්ම විරෝධය පළ කරන බව අන්තර්විශ්ව විද්‍යාල බල මණ්ඩලය පවසයි.

ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර එම ප්‍රකාශය කළේ නවක වද චෝදනා යටතේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් දාහත් දෙනකුගේ පන්ති තහනම් කරනු ලැබීම සම්බන්ධයෙන් බීබීසී සංදේශය කළ විමසීමකදී.

‘නවක සිසුන් කිසිදු ආකාරයක ශාරීරික හෝ මානසික පීඩාවකට ගොදුරු කරනු ලැබීමට අපි විරුද්ධයි. එවැනි දේවල් සිදු කෙරෙන ප්‍රවණතාවක් තිබේ නම් එය නතර කිරීමටත් අපි පසුගිය කාලය පුරාම ක්‍රියාත්මක වුනා’ අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පවසයි.

පදනම් විරහිතයි

පේරාදෙණිය සරසවියේ සම සෞඛ්‍යය පීඨයේ සිසුන් කණ්ඩායමකට එරෙහිව එල්ල වෙන නවක වැඩ චෝදනා පිළිබඳව විමසීමක් කළ විට කැඳවුම්කරු ලහිරු වීරසේකර කියා සිටියේ එම චෝදනා වලට පදනමක් නොමැති බවයි.

‘අපි එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා. මොකද? ඒ චෝදනා එකක් වත් ඔප්පු කරපු දේවල් නොවෙයි. මෙයින් මාස කීපයකට පෙර සිදු වූ දෙයකටයි ඔය පන්ති තහනම පනවල තිබෙන්නේ’ ලහිරු වීරසේකර පවසයි.

එල්ල කෙරෙන චෝදනා කිසිදු නිශ්චිත පරීක්ෂණයකින් ඔප්පු කොට නැති බවයි ඔහු කියා සිටින්නේ.

මේ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විනය භාර නිලධාරී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අශෝක දංගොල්ල පවසන්නේ පන්ති තහනමට ලක් වූ ශිෂ්‍යයන් දාහත් දෙනා සම්බන්ධයෙන් සිදු කෙරුණ විභාගයක දී ඔවුන් වරදකරුවන් හැටියට තීන්දු වූයෙන් එම තහනම පැනවූ බවයි.

පාලක ප්‍රතිචාරය

ශිෂ්‍යයන් දාහත් දෙනාට එරෙහි චෝදනාව වන්නේ නවක ශිෂ්‍යාවකට අමානුෂික මට්ටමින් හිරිහැර සිදු කළ බවටයි.

නවක වදයට ගොදුරු විනැයි පැවසෙන ශිෂ්‍යාව සරසවිය හැර යාම පිළිබඳව තමන් විපරම් කිරීමක් සිදු කළ බවත් එහෙත් එම ශිෂ්‍යාව සරසවිය හැර යාම සහ නවක වදය අතර සම්බන්ධයක් තමන්ට වාර්තා නොවූ බවයි කැඳවුම්කරු ලහිරු වීරසේකර පවසන්නේ.

ඔබ පෙනී සිටින්නේ නවක වදයට ගොදුරු විනැයි පවසන ශිෂ්‍යාව වෙනුවෙන්ද නැත්නම් චුදිතයන් වෙනුවෙන්දැයි බීබීසිය ප්‍රශ්න කළ විට කැඳවුම්කරු ලහිරු වීරසේකර ප්‍රකාශ කළේ ‘එවැනි නවක වදය දීමක් තහවුරු වී නොමැති අතර එවැන්නක් සිදු කර ඇත්නම් කිසිදාක වැරදිකරුවන් වෙනුවෙන් පෙනී නොසිටින බවයි.

කිසිදු ආකාරයක අමානුෂික නවක වදයක් ශ්‍රී ලංකාවේ කිසිම විශ්ව විද්‍යාලයක නොමැති බවත් ඔහු අවධාරණය කරයි.

පසුගිය කාලයේ සිදු වූ දේවල් එකක් වත් ‘ඇත්ත නවක වදදීම්’ නොවන බවයි කැඳවුම්කරු ලහිරු වීරසේකර කියා සිටියේ.

ඒ අතරම පාලකයන් වෙනත් කරුණු සඳහා නවක වදය යොදා ගනිමින් සිසුන් දඩයම් කරන බවත් ඔහු පවසයි.

ශිෂ්‍ය දේශපාලනය

අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය නවක වදයට එරෙහිව පෙනී නොසිටීම ගැන බීබීසිය ප්‍රශ්න කළ විට ලහිරු වීරසේකර එම අදහස් ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ ‘තමන් ඉතිහාසයේ එවැනි මැදිහත් වීම් සිදු කර’ඇති බවයි.

එසේම නවක සිසුන්ට දැනුම ලබා දීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කරන බවත් ඔහු පවසයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍යය පීඨයේ නවක වදයක් වීනම් ඒ ගැන තමන්ට තොරතුරු සපයන මෙන් ඉල්ලා සිටි අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු එවැනි තොරතුරු ලබා දෙන අයට රැකවරණය සලසන බවට නිශ්චිත සහතිකයක් දෙන බවයි කියා සිටියේ.