ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'මුතුපන්තිය බේරා දෙන්න'

ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න

ප්‍රාදේශීය වාර්තාකරු

ආරච්චිකට්ටුව මුතු පන්තිය දූපත මේ වන විට උග්‍ර මුහුදු ඛාදනයකට ලක් වෙමින් තිබේ.

මුහුදෙන් සහ කලපුවෙන් ද දකුණු දිසාවෙන් නගුල් එළිය ගම්මානයෙන් සහ උතුරු දෙසින් උඩප්පුව ගම්මානයෙන්ද වටව තිබෙන මේ පුංචි දූපතේ ජිවත් වන පවුල් ගණන දෙසීයකට ආසන්නයි.

මේ දූපතෙන් අඩකට නොවැඩි ප්‍රමාණයක් මේ වන විට මුහුදට සේදී ගොස් ඇති බව මේ ගම්මානයේ ජිවත් වන ධීවරයෙකු වන දැනියෙල් තිසේරා පැවසීය.

මුතුපන්තිය ආරක්ෂා කිරීම සඳහා යොදන ලද ගල් වැටිය මේ වන විට මුහුදට ගසා ගෙන ගොස් ඇති බවද ඩැනියෙල් තිසේරා පෙන්වා දෙයි.

මුතුපන්තිය දූපතේ ජිවත් වන්නන්ගෙන් බහුතරයක් ධීවරයන් වීම සහ ඉතා කුඩා ප්‍රමාණයක ජනතාවක් මෙහි ජීවත් වීම බලධාරීන්ගේ අවධානයට ලක් නොවීමට හේතු වී ඇති බව මුතුපන්ති වැසියකු වන ජූඩ් ලසන්ත පැවසීය.

'වෙරළක් ඉතිරි වී නැහැ'

මුහුදු ඛාදනයකට ඉක්මන් පිළියමක් නොදුන්හොත් මුතුපන්තිය ග්‍රාමයේ සියලු දෙනාට ගම අතහැර දමා යාමට සිදු වන දවස වැඩි ඈතක නොවන බවයි ගම් වැසියන් පවසන්නේ.

බැංකු වලින් ණය ගෙන ධීවර රැකියාව කරන සිය ගම්මානයේ ධීවරයන්ට ජීවිකාව කර ගැනීමට පවා නොහැකි තත්වයක් උදා වී ඇති අතර බෝට්ටු ගොඩට ඇදීමටවත් වෙරළක් ඉතිරි වී නැති බව පෙන්වා දුන් මුතුපන්තිය ධීවරයෙකු කියා සිටියේ සිය ගම්මානය රැක ගැනීමට බලධාරීන්ගේ අවධානය වහාම යොමු විය යුතු බවයි.

වෙරළ ආසන්නයේ පිහිටා තිබෙන ගෙවල් දහයක් පමණ මුහුදු රළට හසුව විනාශ වෙමින් පවතින අතර ඒ නිවෙස් වල වැසියන් ගම්මානය හැර දමා ගොස් ඇති බවයි සිය නිවෙස මුහුදට බිලි වූ එක් වැසියෙක් සංදේශයට පැවසුවේ.