උතුරේ මාධ්‍යවේදීන් දැකීමට දකුණේ නෑයන්

Image copyright mediafreedomlk.com
Image caption උතුරට ළඟා වූ දකුණේ මාධ්‍ය සහෝදරත්වය

යුද්ධය අවසාන වී ඇති නමුත් උතුරේ මාධ්‍යවේදීන්ට ආරක්ෂක අංශ වලින් තවමත් ප්‍රශ්න මතු වෙන හෙයින් මාධ්‍යවේදීන් සහ ආරක්ෂක අංශ අතර විශේෂ සාකච්ඡාවක් සූදානම් කර ඇති බව උතුරේ සංචාරයක නිරත මාධ්‍යය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුව පවසයි.

ජනමාධ්‍ය කටයුතු පිළිබඳ ඇමතිවරයා,නියෝජ්‍ය ඇමතිවරයා, රජයේ මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්, මාධ්‍ය සංවිධාන නියෝජිතයන්, විද්‍යුත්, මුද්‍රිත සහ වෙබ් මාධ්‍යකරුවන් ඇතුළු එකසිය විසි තුන් දෙනෙකුගෙන් පමණ සැදුම්ලත් කණ්ඩායමක් යාපනයේ සංචාරයට ඇතුලත් වෙති.

' තල්පතයි පන්හිඳයි එකට යා කරන සංහිඳියාවේ චාරිකාවට' එක් වූ මාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ෆ්‍රෙඩී ගමගේ සංදේශයට කියා සිටියේ උතුරේ මාධ්‍යවේදීන්ට විඳීමට සිදු වන ''තාඩන පීඩන'' සම්බන්ධයෙන් ඉරිදා ආරක්ෂක අංශ ප්‍රධානීන් හමු වී සාකච්ඡා කරන බවයි.

'යාපනය මාධ්‍යවේදීන් සහ ආරක්ෂක අංශවල ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයාත් ඊට සහභාගී වනවා. එහිදී විශේෂ අවධානය යොමු වන්නේ පසුගිය පාලන කාලය තුළ මධ්‍යකරණයේදී ඔවුන්ට මුහුණ දීමට සිදු වූ ගැට‍ළු සම්බන්ධවයි' මාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ෆ්‍රෙඩී ගමගේ පවසයි.

'හුස්ම ගන්න ඉඩක්'

සංහිඳියාව ගොඩනගනු වස් දකුණට විශාල කාර්යභාරයක් පැවරී ඇති බවට ජනාධිපතිවරයා මෑතකදී කළ ප්‍රකාශය සිහිපත් කළ මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ එවැනි පසුබිමක් තුළ සංහිඳියා ගමනේ එක් පියවරක් වශයෙන් සිය සංචාරය සංවිධානය කළ බවයි කියා සිටියේ.

පසුගිය පාලන සමයේ සිය වෘත්තීය ජීවිතය තුළ උතුරේ මාධ්‍යවේදීන්ට මුහුණ දීමට සිදු වූ කටුක අත්දැකීම්වලදී දකුණේ මාධ්‍යවේදීන්ට ඔවුන් ආරක්ෂා කිරීමට හෝ ඔවුන් වෙනුවෙන් පෙනී සිටිය හැකි වාතාවරණයක් නොතිබූ බවත් ඔහු පවසයි.

'අපි එක්තරා දුරකට පෙනී සිටියත්, එය ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න තරම් ප්‍රමාණවත් වුනේ නැහැ. දැන් මේ අපට හුස්ම ගැනීමට විවර වෙලා තිබෙන ඉඩකඩ ප්‍රයෝජනයට ගනිමින් අපි කල්පනා කළා දකුණෙන් උතුරට යන්න අවශ්‍යයි කියලා' ඔහු කියා සිටියේය.

පසුගිය පාලන සාමය තුළ උතුරේත් දකුණේත් ඝාතනය කෙරුණු මාධ්‍යවේදීන් සිහි කොට යාපනය නගර මධ්‍යයේ ස්මාරකයක් ස්ථාපිත කරන බවත් මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර