'අතුරුදහන්වූවෝ හොයනවා වෙනුවට මරණ සහතික'

යුද සමයේ දී අතුරුදහන් වූ පුද්ගලයින් වෙනුවෙන් මරණ සහතික ලබාගන්නා මෙන් විශේෂ ජනාධිපති කොමිසම විසින් තමන්ට බල කරන බවට අතුරුදහන් වූවන්ගේ ඥාති සංගමය චෝදනා කොට තිබේ.

ඥාති සංගමයේ ලේකම් සුන්දරම් මහේන්ද්‍රන් පවසන්නේ කොමිසම විසින් මරණ සහතික ලබා ගන්නා මෙන් තමන්ට බල කළ බවට අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විශාල පිරිසක් සිය සංගමයට පැමිණිලි කොට ඇති බවයි.

යුද සමයේ දී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබඳ තොරතුරු සොයා බැලීමට පත් කොට සිටින විශේෂ ජනාධිපති කොමිසම තමන්ට හිමි බලතල ඉක්මවා කටයුතු කරන බවට චෝදනා එල්ල කරන අතුරුදහන්වූවන්ගේ ඥාති සංගමය එම ක්‍රියාව තරයේම හෙළා දකින බවද පවසයි.

මෙම කොමිසමේ කාර්යය වන්නේ අතුරුදහන්වූවන් සොයා දීම මිස අතුරුදහන් වූවන්ට මරණ සහතික නිකුත් කිරීම නොවන බව පවසන එම සංගමයේ ලේකම්වරයා මේ සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරණගමට පැමිණිලි කළද ඔහුගෙන් සහනයක් නොලැබුණු බවද කියා සිටියේය.

නමුත් විශේෂ ජනාධිපති කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්.ගුණදාස පැවසුවේ කොමිසම මරණ සහතික ලබා ගන්නා මෙන් කිසිවෙකුටත් බල නොකළ බවයි. ඔවුන්ට හැකි නම් එසේ කළ බව ඔප්පු කර පෙන්වන මෙන්ද ඔහු චෝදනා එල්ල කරන පාර්ශ්වයට අභියෝග කළේය.

කොමිසම ඉදිරියට සාක්කි දීමට පැමිණෙන විශාල පිරිසකගේ අතේ තම ඥාතීන්ගේ මරණ සහතික ඇති බවත් ඔවුන් කොමිසමෙන් ඉල්ලා සිටින්නේ ඒ වෙනුවෙන් යම් වන්දියක් ලබා දීමට මැදිහත් වන මෙන් බවත් කොමිසමේ ලේකම්වරයා කියා සිටියේය.

රුපියල් ලක්ෂයක වන්දියක්

එසේ වන්දි ඉල්ලා සිටින පිරිසට රුපියල් ලක්ෂයක වන්දියක් ලබාගැනීමට කොමිසම උදවු කරන බව කී ලේකම්වරයා ඥාතියා මියගිය අන්දම දුටු පිරිසට පමණක් මරණ සහතික ලබා දෙන බවද පැවසීය.

අතුරුදහන් වූ ඥාතියා සොයා දෙන මෙන් කොමිසමෙන් ඉල්ලා සිටින පිරිසගේ ඉල්ලීම් විශේෂ විමර්ශන කණ්ඩායමක් වෙත යොමු කරන අතර ඉන් සිදු වන්නේ අතුරුදහන් වූ ඥාතියා සෙවීම බවද කොමිසමේ ලේකම්වරයා පැවසීය.

මාර්තු විසි හත් වෙනිදා තෙක් දින හතරක් මුලතිව් පළාතේ දී අතුරුදහන්වූවන් පිළිබඳ සාක්කි සටහන් කර ගත් විශේෂ ජනාධිපති කොමිසම විසිඅට වෙනිදා සිට සාක්කි ලබා ගන්නේ මන්නාරමේ වැසියන්ගෙන් බවද එහි ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.