පානම ජනතාවගේ නොනිමි අරගලය

ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න

පානම සංචාරයකින් පසු

වසර හයකට පසු පානම්පත්තුව රාගම්වෙල ජනතාව අද පස්වරුවේ තම මුල් ගම් බිම් වෙත පැමිණෙන තිබෙන අතර ඔවුන් සිය මුල් ගම් බිම් වෙත පැමිණි ගමනේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන්ගෙන් බාධා එල්ල වී තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ව මුලින් බාධා කලත් පසුව එම ප්‍රදේශයෙන් ඉවත්ව පොලිසිය කැඳවීමට පියවර ගන්නා ලදි.

පොලිසිය අධිකරණ තීන්දුවක් ද සහිතව පැමිණ සිටි අතර මේ තීන්දුවේ නිල මුද්‍රාවක් නොතිබීම හේතුවෙන් එය පිලි ගැනීම ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලදි.

මේ අධිකරණ නියෝගයේ තිබුණේ පොතුවිල පානම ප්‍රධාන මාර්ගය අවහිර නොකරන ලෙස සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඉඩමකට බලහත්කාරයෙන් ඇතුළු නොවන ලෙසයි.

මෙහි දී පානම්පත්තුවේ ජනතාව පෙන්වා දුන්නේ තමන් මේ නියෝග දෙකම කඩ නොකරන බවයි .

සිය ජනතාව මේ වන විට පදිංචිව සිටින්නේ ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඉඩමක බවද ඔවුන් මෙහිදී පෙන්වා දෙන ලදි.

පානම් පත්තුව සුරැකීමේ සංවිධානයේ කැඳවුම් කරු පුංචි රාලගේ සෝමසිරි ප්‍රකාශ කලේ 2010 වසරේදී අවි ගත් මැරයන් පිරිසක් පැමිණ තමන්ට පහර දී එලවා දැමූ බවයි.

'අවි ගත් මැරයන් පිරිසක්'

එදා මේදා තුර ඒ සදහා කිසිදු පරීක්ෂණයක් සිදු නොවූ බවද සෝමසිරි පැවසිය.

පානම් පත්තුව සුරැකීමේ සංවිධානය මිට වසර හයකට පෙර පිහිටුවා ගනු ලැබුවේද පානම්පත්තුවේ ඉඩම් මංකොල්ලයට තිත තැබීම සඳහායි.

මේ සංවිධානයේ මූලිකත්වයෙන් ඊයේ පස්වරුවේ පානම ජනතාව උපවාසයක් ආරම්භ කළේ අද ගමනට පෙර සුදානමක් වශයෙනි.

මීට වසර හයකට පෙර රාගම්වෙල ග්‍රාමයේ තිබු ශ්‍රී වාලුකාරාමය අද ශ්‍රී යහපලනාරාමය ලෙස නැවත ගොඩ නැංවීම අද පස්වරුවේ ආරම්භ කෙරුණි. මේ සදහා ගෙන එන ලද බුදු පිළිමයක් හා බෝධියක් ඇතුළු උපකරණ රැසක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් හා පොලිසිය මැදිහත්ව උදුරා ගත් බව පානම ජනතාව චෝදනා කළහ.

තමන් අද මේ තීරණය ගත්තේ වත්මන් ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු රජයේ නිලධාරීන් කැබිනට් මණ්ඩලයේ තීන්දුත් පිළි නොගන්නා නිසා යැයිද පානම ජනතාව පැවසිය.

කෙසේ වෙතත් මෙම ස්ථානයට පැමිණි රාහුගල ප්‍රාදේශීය ලේකම් එල් ඒ සෝමරත්න රජය විසින් ක්‍රියාත්මක කරන ක්‍රමවේදයට ගරු කරමින් කතා බස් කොට මෙම ප්‍රශ්නයට විසඳුම් ලබා ගත යුතු නිසා සිය නිවෙස් වලට යන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.