ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බ්ලොග් සහ සමාජ ජාලවල අද දවසේ වගකීම

මාධ්‍ය නිදහස තිබුනත් බහුතරයක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සමාජයේ නාමධාරී, අධිපතිවාදී පුද්ගලයන් සහ සංස්ථා සම්බන්ධයෙන් ප්‍රශ්න නොකරන බව සමාජ ජාල ක්‍රියාධර නාලක ගුණවර්ධන පවසයි.

ඉහත කී පුද්ගලයන් හා සංස්ථාවලට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය දක්වන භය පක්ෂපාතීත්වය හේතුවෙන් බ්ලොග් අවකාශය සහ සමාජ ජාල සඳහාම ආවේණික වූ ''ගරු සරු නැති'' සුවිශේෂී ස්වභාවය (Irreverent) දිගටම පවත්වා ගත යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

ඔහු ඒ බව කියා සිටියේ වසරේ හොඳම බ්ලොග් නිර්මාණකරුවන් අගයනු වස් දෙවන වරටත් සංවිධානය කෙරුණු 'නෙළුම් යාය බ්ලොග්' සම්මාන උළෙල අමතමිනුයි.

''උදාහරණයක් ලෙස ලංකාවේ හමුදාව සහ සංඝ සමාජය ගැන මෙරට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කතා කරන්නේ බොහොම බය පක්ෂපාතීව.''

දේශපාලන සහ කාලීන සංවාද, විද්‍යා ප්‍රබන්ධ, විද්‍යා සහ තාක්ෂණ, කෙටි කතා, කෙටි නවකතා, කවි නිසඳැස්, ඡායාරූප ඇතුළු අංශ දහඅටක අයත් හොදම නිර්මාණකරුවන්ට මෙවර ත්‍යාග ලබා දුන් බවයි බ්ලොග් සම්මාන උළෙලේ සංවිධායක 'නෙළුම් යාය' සංස්කාරක අජිත් ධර්මකීර්ති කියා සිටියේ.

වෙබ් අවකාශයෙන් මහ පොළොවට

බ්ලොග් අවකාශයෙන් මහපොළවලට විත් සමාජ සත්කාරයේ යෙදීමට ලේඛකයන්ට සහ සමාජ ජාල ක්‍රියාධරයන්ට අවස්ථාව පැමිණ ඇති බවත් ඔහු පැවසීය.

''බ්ලොග් අවකාශය තුලම මුදල් එකතු කරලා වතුර නැති පාසලකට අපි නල ජලය ලබා දුන්නා. ගොඩක් අය දැන ගෙන සිටියේ නැහැ ඒ පාසලේ ළමයි ටැප් අරින්න දැනන් හිටියේ නැහැ කියලා.''

'බ්ලොග් අවකාශයේ අපි තර්ක කරන කරුණු මහ පොළොවට ගෙනත් ප්‍රයෝගිකව කරමු.' බ්ලොග් ලේඛක අජිත් ධර්මකීර්ති වැඩිදුරටත් කියා සිටියේය.

සමාජ මාධ්‍ය ජාල ඇතුළු නව තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන මාධ්‍ය වර්තමානයේ ලොව ආණ්ඩුවලටත් වඩා ප්‍රබල බලයක් උසුලන බව උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූ කතානායක කරු ජයසූරිය උළෙල අමතමින් පැවසීය.

"සමාජයට, දේශපාලනයට රටේ තීන්දු තීරණවලට කරන බලපෑම බලපුවහම රටක් පාලනය කරන හතරවෙනි ආණ්ඩුව නෙවෙයි, පලවෙනි ආණ්ඩුව මාධ්‍යයයි කියල විශ්වාස කරන තරමට අද මාධ්‍ය බලවත් වෙලා තියෙනව," ඔහු පැවසීය.

එම අසීමිත බලය වගකීමෙන් භාවිත කරන මෙන් කතානායකවරයා සම්මානලාභීන් ඇතුළු මාධ්‍ය ක්‍රියාධරයන්ගෙන් ඉල්ලීමක් කළේය.

සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි කථානායක කරු ජයසූරිය අතින් සම්මාන ලබා දීම සිදු විය.

වසරේ හොඳම බ්ලොග්කරු/කාරිය සම්මානය 'බස්සිගේ නවාතැන' අඩවියේ යශෝධා සම්මානි ප්‍රේමරත්නට හිමි වූ අතර, 'යාං හෑල්ල' බ්ලොග් අඩවියේ රංජිත් සුරංගට සහ 'නිදහස් සිතුවිලි' අඩවියේ රවි වීරසිංහට පිළිවෙලින් දෙවැනි සහ තුන්වෙනි සම්මාන හිමිවිය.