'අභියාචනා කමිටුවක් ක්‍රියාත්මක වෙද්දි මැතිවරණයක් කැඳවන්න බෑ'

Image copyright President Media

සීමා නිර්ණය සම්බන්ධයෙන් අභියාචනා කමිටුවක් ක්‍රියාත්මක වෙමින් පවතිද්දී නීතිය අනුව තමාට පළාත් පාලන මැතිවරණ කැඳවිය නොහැකි බව පලාත් පාලන ඇමති ෆයිසර් මුස්තාෆා පවසයි.

කෙසේ වෙතත් පලාත් පාලන මැතිවරණ මාර්තු මාසයේ අවසානය වන විට ප්‍රකාශයට පත් නොකළොත් ජනතාව පාරට බස් වන බවට ඒකාබද්ධ විපක්ෂය අනතුරු අඟවනු ලැබ තිබේ.

කලින් ක්‍රියාත්මක වූ සීමා නිර්ණය කොමිසම ඔවුන්ගේ කාර්ය භාරය හරිහැටි ඉටු කර නැති හෙයින් මෙවැනි ප්‍රශ්නයක් උද්ගත වූ බවයි ඇමතිවරයා පවසන්නේ.

කෙසේ වෙතත් විපක්ෂය චෝදනා කරන්නේ ආණ්ඩුව ඡන්දය සිතා මතාම ප්‍රමාද කිරීමට කටයුතු කරන බවටයි.

'රජයේ උපායක්'

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භේද භින්න වීම වැළැක්වීමේ උපායක් ලෙස පළාත් පාලන මැතිවරණය කල් යවන බවයි ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ.

Image copyright newsfirst.lk

ඉදිරිපත් වී ඇති චෝදනා සහ ප්‍රකාශ වලට පිළිතුරු දෙමින් අමාත්‍ය ෆයිසර් මුස්තාෆා කියා සිටියේ සීමා නිර්ණය කොමිසමේ වාර්තාව නිසි ලෙස ඉදිරිපත් කර නොමැති නිසා පවතින නෛතික ප්‍රතිපාදන වලට අනුව තමන් අභියාචනා පරීක්ෂණ කමිටුවක් පත් කිරීමට කටයුතු කළ බවයි.

අලුතින් පත් කරන ලද කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු විෂයභාර අමාත්‍යවරයා ලෙස තමන් එම සීමා නිර්ණයන් ගැසට් වාර්තාවක් මගී ප්‍රසිද්ධියට පත් කරන තුරු මැතිවරණයක් කැඳවීමට නීතියෙන් අවසරයක් නැති බවයි පලාත් පාලන ඇමති ෆයිසර් මුස්තාෆා වැඩි දුරටත් කියා සිටියේ.

සීමා නිර්ණය පිළිබඳව අංග සම්පූර්ණ වාර්තාවක් ලද වහාම තමා මැතිවරණ කැඳවන බවයි ඔහු පවසන්නේ.

සීමා නිර්ණය කිරීමේ අභියාචානා කමිටුවේ සාමාජික ඒ එස් එම් මිෂ්බා පවසන්නේ අවුරුදු දෙකකුත් මාස හතක් මුළුල්ලේ ක්‍රියාත්මක වූ පැවති සීමා නිර්ණය කමිටුවේ දුර්වලතා හඳුනාගෙන නැවතත් ප්‍රශ්නයක් මතු නොවන ආකාරයෙන් ඒ කටයුත්ත කිරීම ලේසි පහසු නොවන අතර රටට සහ ජනතාවට සාධාරණයක් ඉටු කරන ආකාරයෙන් නව වාර්තාවක් සැකසීමට යම් කාලයක් ගත වන බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ පෙර පැවති සීමා නිර්ණය කමිටුවේ වැඩ පිළිවෙළ ජාතීන් ආගම් පමණක් නොව කුල අතරද ප්‍රශ්න ඇතිකිරීමේ සමත් ඉතාමත් දුර්වල මට්ටමේ පැවති බවයි.