මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර: 'කරුණු දක්වන්න'

Image copyright Getty

රාජ්‍ය සේවකයින් සඳහා ලබා දුන් තීරුබදු රහිත වාහන බලපත්‍ර සහනය අහෝසි කළ ආණ්ඩුව එම සහනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීමට ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට දැනුම් දී ඇත.

තීරුබදු රහිත වාහන බලපත්‍ර සහනය අහෝසි කිරීමට එරෙහිව රජයේ සේවයේ නිරත වෛද්‍යවරු විසි එක් දෙනකු විසින් ඉදිරිපත් කරනු ලැබූ පෙත්සමක් අද (29) කැඳවූ අවස්ථාවේදී ඉහත කී කරුණ අධිකරණයේ අවධානයට යොමු කළ බව පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය ප්‍රකාශ කළේය.

'රජයේ සේවකයින්ට ලබා දුන් තීරුබදු රහිත වාහන බලපත්‍ර ක්‍රමය අත් හිටුවන බව රජය පසුගිය අයවැය ප්‍රකාශ ඉදිරිපත් කළ අවස්ථාවේදී ප්‍රකාශ කළා. එහෙත් දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදීමට රජය කටයුතු කර තිබෙනවා. ඒක මූලික අයිතීන් කඩකිරීමක්.' නීතිවේදි වර්ණසුරිය පැවසීය.

මුදල් අමාත්‍යවරයා පසුගිය අය වැය කතාව ඉදිරිපත් කළදිනට පසු දිනම රාජ්‍ය සේවකයින් සඳහා වූ තීරුබදු රහිත වාහන බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කටයුතු කළ බවයි පෙත්සම්කාර පාර්ශවය කියා සිටියේ.

පාර්ලිමේන්තුව විසින් අයවැය සම්මත කරනු ලැබීමට පෙර තීරුනාඩු සහනය අහෝසි කිරීමට රජය ගත් එම තීන්දුව බලරහිත ක්‍රියාවක් බවයි පෙත්සම්කාර පාර්ශවය පවසන්නේ.

රජය විසින් ගනු ලැබූ ඉහත කී තීන්දුව නීති විරෝධී බවට තීන්දු ප්‍රකාශයක් ලබා දෙන මෙන් පෙත්සම්කාර වෛද්‍යවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

මෙම කරුණු සම්බන්ධයෙන් මැයි මස 03 වනදා කරුණු යළි සලකා බලන බවද අධිකරණය ප්‍රකාශ කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර