මැදපෙරදිග කාන්තාවෝ: 'අපිට සලකන්නේ ගණිකාවන්ට වගේ'

Image copyright AFP

ගෘහ සේවය සඳහා මැදපෙරදිග ගොස් වැටුප් නොමැතිව සහ වද හිංසාවන්ට ලක් වූ කාන්තාවන් එක සිය හතළිස් දෙදෙනෙක් යළි ශ්‍රී ලංකාවට පැමිණියහ.

මැදපෙරදිග අසරණව සිටින පිරිස් නැවත ගෙන්වා ගැනීමට රජය මැදිහත් විය යුතු අතර විදේශ රැකියා නියෝජිත ආයතන සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගත යුතු බවයි ශ්‍රී ලංකාවට නැවත පැමිණි පිරිස් පෙන්වා දෙන්නේ.

එලෙස මැදපෙරදිග සේවයට ගොස් සඳුදා සහ අඟහරුවාදා යන දෙදින තුළ නැවත ශ්‍රී ලංකාවට පැමිණි මුළු පිරිස දෙසීය දාහතක්.

විදේශ රැකියා නියෝජිත ආයතන මැදපෙරදිග බලා යන ගෘහ සේවිකාවන්ගේ සුබ සාධනය සහ ඔවුන්ට එල්ල වන තාඩන පීඩන පිළිබඳ සොයා නොබලන බවත් සඳුදා දිවයිනට පැමිණි කාන්තාවක් සඳහන් කළාය.

''අපේ පඩි සල්ලි දෙන්නේ නැහැ. ඒ සල්ලි ඒජන්සි තියා ගන්නවා. ගණිකා සේවයට යොදා ගන්නවා වගේ උදේ හවස එන්න කියලා ඒජන්සි කාමරයක් ඉස්සරහා තියා ගන්නවා. මිනිස්සු එනවා, මෙයා හොදයි කියලා වැඩට එක්ක යනවා.''

අඟහරුවාදා පැමිණි පිරිසෙන් එකසිය තිස් හතර දෙනෙකු කුවේට් රාජ්‍යයේ සේවයට ගොස් සිටි අය වන අතර සෙසු පිරිස සෞදි අරාබියේ සහ ජෝර්දානයේ රැකියා සඳහා ගොස් සිටි අය වෙති.

තමන් වැනි අසරණ තත්වයට පත් වූ තවත් ශ්‍රී ලාංකික කාන්තාවන් විශාල පිරිසක් මැදපෙරදිග සිර වී සිටින බව එම පිරිස් පවසති.

ඒ අතර වද හිංසාවලට ලක් වී ආබාධිත තත්වයේ පසු වන ශ්‍රී ලාංකිකයන්ද සිටින බවයි ඔවුන් කියා සිටියේ.