ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නව ව්‍යවස්ථාව: 'බහුතරයේ කැමැත්ත නොව සියල්ලන්ට සමාන අයිතිවාසිකම්'

නව ව්‍යවස්ථාවේ අභිප්‍රාය විය යුත්තේ බහුතරයේ කැමැත්ත විමසීම නොව සැමට සමාන අයිතිවාසිකම් ලබා දීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

රටේ එක්සත් භාවයට හෝ ඒකීය භාවයට හානි නොවන ආකාරයට බලය බෙදා හැරීම ව්‍යවස්ථාවෙන් සිදු කළ යුතු බවයි අගමැතිවරයා අවධාරණය කළේ.

'ශ්‍රී ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍ය කියන්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය. අපි ඔක්කොම එක සමානයි. අපි ඔක්කොම ශ්‍රී ලාංකික. අපි ඔක්කොම එක මවකගේ දරුවෝ' අගමැතිවරයා ඒ බව කියා සිටියේ යෝජිත නව ව්‍යවස්ථාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා කොළඹ පැවති සම්මන්ත්‍රණයක් අමතමිනුයි.

සම්මන්ත්‍රණයේ සමාරම්භක උත්සවය අමතමින් අගමැතිවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩනැගීම නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ අරමුණ බවයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇති පරිදි සාමයෙන් රැස් වී, සාමයෙන් සාකච්ඡා කර, සාමයෙන් විසිර යාම පාර්ලිමේන්තුවේ අරමුණ බව සඳහන් කළ අගමැතිවරයා එම එකඟතාව කඩ කරන පුද්ගලයන් සැබෑ බෞද්ධයන් නොවන බව කියා සිටියේය.

බෞද්ධ දර්ශනය

නව ව්‍යවස්ථාව සඳහා ආණ්ඩුව කෙටුම්පතක් ඉදිරිපත් නොකරන බව ප්‍රකාශ කළ අගමැතිවරයා එය සම්පූර්ණයෙන්ම සකස් වන්නේ ජනතා අදහස් ලබා දීමේ කොමිසමට ජනතාව ලබා දී තිබෙන අදහස් අනුව බවයි සඳහන් කළේ.

එහිදී කථානායක කරු ජයසූරිය පැවසුවේ ව්‍යවස්ථාව සැකසීම සඳහා විදේශීය රටවල අත්දැකීම් ලබාගැනීම සිදු කළත් අවසාන වශයෙන් සිදු වන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගේ එකඟත්වයට අනුව ශ්‍රී ලංකාවට ගැළපෙන ව්‍යවස්ථාවක් සකස් කිරීම බවයි.

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විදේශ සහාය ලබාගැනීම පිළිබඳ දුර්මතයක් සමාජ ගත වී ඇති බවත් කථානායකවරයා කියා සිටියේය.

බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝලයේදී පැවැත්වෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ඇමරිකාවේ USAID ආයතනය එක්ව සංවිධානය කොට තිබේ.

සම්මන්ත්‍රණය සඳහා දේශපාලන පක්ෂවල නියෝජිතයන් රැසක් එක්ව සිටියහ.