සවුත්ලන්ඩ්ස් විදුහල්පතිනියට එරෙහිව 'දැඩි පියවර'

Image caption විදුහල්පතිනියට එරෙහිව දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන ඇමතිවරයා පවසයි

ගාල්ල සවුත්ලන්ඩ්ස් විදුහලේ විදුහල්පතිනි ශාන්ති සෙනෙවිරත්නට එරෙහිව එල්ල වී තිබෙන බලය අයුතු ලෙසින් යොදා ගැනීම, විගණන අක්‍රමිකතා ඇතුලු සියලුම චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

ඇයගේම ඉල්ලීමක් පරිදි පළාත් අධ්‍යාපන කාර්යාලයට මාරුවීමක් ලබා සිටින විදුහල්පතිනිය, නව විදුහල්පතිනිය වැඩ භාරගැනීමට පැමිණි අවස්ථාවේ වැඩ භාරදීම ප්‍රතික්ෂේප කර තිබේ.

වාරාවසාන විභාග අවසන් කොට, සමුගැනීමේ සාදයක්ද සංවිධානය කිරීමෙන් අනතුරුව වැඩ භාරදෙන බවයි නව විදුහල්පතිනි සන්ධ්‍යා පතිරවසම් එහි පැමිණි අවස්ථාවේ ශාන්ති සෙනෙවිරත්න විදුහල්පතිනිය පවසා තිබෙන්නේ.

එසේ වැඩ භාර නොදී සිටීමට සහ තමන්ගේ සමුගැනීමේ සාදය තමන්ටම සංවිධානය කරගැනීමට ඇයට බලයක් තිබෙන්නේ දැයි බීබීසී සංදේශය කළ විමසීමට පිළිතුරු දුන් අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ එම චෝදනාව පිළිබඳවත් පරීක්ෂණයක් පැවැත්වීමට තමන් සූදානම් බවයි.

විෂය මාලාව වෙනස්කිරීම

එපමණක් නොව විදුහලේ අභ්‍යන්තර විගණනය සම්බන්ධයෙන් ඇයට එරෙහිව තවත් චෝදනා ගණනාවක් තිබෙන බවත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසීය.

සෞන්දර්ය විෂය ක්ෂේත්‍රයට අදාළ විෂයයන් ගණනාවක් අවලංගු කර, එම විෂයයන් උගන්වන ගුරුවරුන්ට සවුත්ලන්ඩ් විද්‍යාලය හැර යන ආකාරයට කටයුතු කිරීම විදුහල්පතිනි ශාන්ති සෙනෙවිරත්නට එරෙහිව එල්ල වී තිබෙන තවත් චෝදනාවක්.

Image copyright Sajeewa Wijeweera
Image caption ගාල්ලේදී තරුණියකට පහරදීමේ චෝදනා ලබා සිටින සැකකාරිය 'අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැරලා'

ඒ පිළිබඳව තමන් දැන නොසිටි බව පවසන අධ්‍යාපන අමාත්‍යවරයා, පාසලක විෂය මාලාව වෙනස් කිරීමට විදුහල්පතිවරයකුට අයිතියක් නොමැති බව අවධාරණය කළේය.

අදාළ චෝදනා හමුවේ විදුහල්පතිනි ශාන්ති සෙනෙවිරත්න මාරු කර යවන මෙන් ගුරු දෙගුරුන් විශාල පිරිසක් හඬ නගන අතරවාරයේ, ඇය මාරුකිරීමට එරෙහිවද ඇතැම් දෙගුරුන් සහ ආදි ශිෂ්‍යාවන් ඇතුළු පිරිසක් පෙළ ගැසී සිටිති.

තරුණියට පහරදීම

ස්ථාන මාරුව අවලංගු කරන්නැයි ඉල්ලා සඳුදා ගාල්ලේදී උද්ඝෝෂණයක් පැවැත්වෙන අතරවාරයේ විදුහල්පතිනියට එරෙහිව අදහස් දැක්වූ චාමිකා සඳමිනි ආදිහෙට්ටි තරුණියට උද්ඝෝෂකයන් පහරදීම දැක්වෙන වීඩියෝ පටයක් රටපුරාම අවධානයට ලක් වී තිබේ.

සවුත්ලන්ඩ්ස් බාලිකා විදුහලේ ආදි ශිෂ්‍යාවක් වන තරුණියට පහර දුන් පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා පහර දීම ඇතුලත් ඡායාරූප හා වීඩියෝ පට මාධ්‍යවේදීන්ගෙන් හා මාධ්‍ය ආයතන වලින් ලබා ගැනීමට අවසර දෙන්නැයි ගාල්ල පොලීසිය කළ ඉල්ලීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අනුමැතිය පළ කළ බව මාධ්‍යවේදී ෆර්හාන් නිසාම්දීන් සංදේශයට පැවසීය.

පහරදීමට ලක් වූ තරුණිය රෝහල් ගත කර තිබෙන අතර, තරුණියට පහරදුන් බවට චෝදනා ලත් සැකකාරියක අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර තිබේ.

අදාළ චෝදනා පිළිබඳව විමසීම පිණිස සංදේශය විදුහල්පතිනි ශාන්ති සෙනෙවිරත්න ඇමතූ අවස්ථාවේ පාසලේ සියලු කටයුතු නිසි පරිදි සිදු වන බව පවසමින් ඇය දුරකතනය විසන්ධි කළාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර