'පුපුරන ද්‍රව්‍ය ගැන ජීඑල් පීරිස්ගෙන් ප්‍රශ්න කරන්න'

Image copyright Gayantha Karunatilleka

යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ නිවසකින් සොයා ගනු ලැබූ පුපුරන ද්‍රව්‍ය තොගය වැල්ලවත්ත ප්‍රදේශයට ගෙන ඒමට සැලසුම් කර තිබී ඇති බවට හිටපු විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා ඔහුගෙන් ප්‍රශ්න කළ යුතු බව රජයේ ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසයි.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ හිටපු විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ කර තිබෙන ප්‍රකාශ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ඔහුගෙන් ප්‍රශ්න කළ යුතු බවයි.

පරීක්ෂණ ආරම්භ වීමටත් පෙර හිටපු ඇමතිවරයා පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පුදුම සහගත බවයි රජයේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා පැවසුවේ.

ජාතික ආරක්ෂාව

Image copyright AFP

“මිට පෙර මෙහෙම පුපුරන ද්‍රව්‍ය හොයාගත්තම ජී. එල්. පීරිස්‌ ප්‍රවෘති සාකච්ඡා තිබ්බේ නැහැ, නමුත් දැන් එතුමා ළඟ තොරතුරු තිබෙන නිසා එතුමාගෙන් ප්‍රශ්න කර තොරතුරු දැන ගත යුතුයි, මොකද එතුමා කියනවනේ වැල්ලවත්තට ගෙනියන්න හිටියා කියලා” අමාත්‍ය ගයන්ත කරුණාතිලක කියා සිටියේය.

ආණ්ඩුව මෙම සිද්ධිය වසන් කිරීමට උත්සාහ දරණ බවට ඊයේ ජී. එල්. පීරිස්‌ හිටපු ඇමතිවරයා කළ චෝදනාවද ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා කියා සිටියේ සිද්ධිය පිළිබඳව පොලිසිය නිල වශයෙන් තොරතුරු ප්‍රකාශ කර ඇති බවයි.

ආරක්ෂක අංශ නිසි ලෙස ජාතික ආරක්ෂාව ගැන අවධානයෙන් සිටින බව මෙම සොයා ගැනීම් වලින් පෙනෙන බවයි මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පැවසුවේ.

මෙම සිදුවීම ගැන කර ඇති ප්‍රකාශ පිළබඳ ජී. එල්. පීරිස්‌ හිටපු ඇමතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට සිදු වන බව ආරක්ෂක ලේකම්වරයාද මෙහිදී පැවසුවේය.