නාමල්ට එරෙහිව තවත් FCID පරීක්ෂණයක්

Image copyright Namal Rajapaksa

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අයත් බව පැවසෙන සමාගම් දෙකක බැංකු ගිණුම් පරික්ෂා කිරීම සඳහා පොලිසිය අද (31වෙනිදා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලබා ගැනීමට සමත් විය.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ කියා සිටියේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් මුදල් විශුද්ධි කරණ පනත යටතේ පරීක්ෂණයක් සිදු කරන බවයි.

ඒ යටතේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අයත් බව කියන ‘ගවර්ස් කෝපරේට්’(Gowers Corporate (Pvt) Ltd) සමාගම සහ ‘එන්ආර් කන්සල්ටේෂන්’ (NR Consultations) සමාගම යන ආයතනවල බැංකු ගිණුම් පරික්ෂා කිරීමට අවශ්‍ය බවයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේ.

එම ඉල්ලීම පිළිගත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අදාළ බැංකු ගිණුම් පරික්ෂා කිරීම සඳහා පොලිසියට අවසර දෙන මෙන් එම සමාගම් වල කළමනාකරුවන්ට නියම කරනු ලැබීය.