ආගමන විගමන කාර්යාලයේ දේපොළ හානිය පොලිසියේ වරදින් - අජිත් කුමාර

Image copyright ABC NEWS
Image caption කුමාර් ගුණරත්නම්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහ ඔවුන්ට හිතවත් කණ්ඩායමක් අද (01) කොළඹ ආගමන විගමන කාර්යාලය ඉදිරියට ගියේ සිය පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික කුමාර් ගුණරත්නම් සඳහා පුරවැසි අයිතිය ඉල්ලා සිටින අයැදුම් පත්‍රයක් භාර දීමට යයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර පවසයි.

කුමාර් ගුණරත්නම්ට පුරවැසි අයිතිය පවරන මෙන් ඉල්ලා උද්ඝෝෂණය කොට අදාළ අයැදුම් පත භාර දීමට ආගමන විගමන කාර්යාලයට පිවිසීමට තැත් කළ මොහොතේ පොලිසිය තමන්ට ‘ම්ලේච්ඡ’ ආකාරයට පහර දුන් බවයි හිටපු මන්ත්‍රීවරයා පවසන්නේ.

ඔහුත් ඇතුළත් කණ්ඩායම ආගමන විගමන කාර්යාලය ඉදිරිපිට පොලිස් මාර්ග බාධක කඩා දමමින් ප්‍රචණ්ඩ ආකාරයට හැසිරුණා නොවේදැයි බීබීසී සංදේශය ප්‍රශ්න කළ විට අජිත් කුමාර කියා සිටියේ ‘ප්‍රචණ්ඩ ආකාරයට හැසිරුනේ තමන් නොව පොලිසිය’ බවයි.

තමන් ඇතුළු පිරිස ආගමන විගමන කාර්යාලයට ඇතුල්වීම බාධා කරමින් පිටුපසට තල්ලු කිරීමට කටයුතු කළ පොලිසිය එම අවස්ථාවේ සිදු වූ මහජන දේපොළ අලාභ හානිවලට වගකිව යුතුය යන්න හිටපු මන්ත්‍රීවරයාගේ අදහසයි.

නීතිපති මත දෙකක

Image caption හිටපු මන්ත්‍රී අජිත් කුමාර

කුමාර් ගුණරත්නම් ගේ පුරවැසි අයදුම් පත් සම්බන්ධයෙන් නීතිපතිවරයා මත දෙකක පිහිටා කටයුතු කරන බවත් අජිත් කුමාර කියා සිටියි.

‘නීතිපතිවරයා මුලින් කිව්වා පුරවැසි පනත අනුව කුමාර් ගුණරත්නම් ගේ අයදුම් පත් භාර නොගන්නා ලෙස. නැවත කිව්වා ඔහුට එරෙහිව කෑගල්ල උසාවියේ ඇති නඩුව අවසන් වූ පසු පුරවැසි භාවය ඉල්ලා සිටින අයැදුම් පත් භාර ගන්න කියල. දැන් ඒ නඩුව වසන්. ඒ නිසයි එම අයැදුම් පත භාර දීමට අපි අද ගියේ’ අජිත් කුමාර හිටපු මන්ත්‍රීවරයා පවසයි.

පාලන දෙකේ වෙනසක් නැහැ

කුමාර් ගුණරත්නම් මහින්ද රාජපක්ෂ පාලන සමයේ රටින් බැහැර වුනේ ජීවිත තර්ජන නිසා යයි සඳහන් කළ අජිත් කුමාර වත්මන් යහපාලන ආණ්ඩුව විදේශගත වූවන්ට යළි සියරට පැමිණ කටයුතු කරන මෙන් ඉල්ලීමක් කළත් කුමාර් ගුණරත්නම්ට එම අයිතිය අහිමි බවයි පවසන්නේ.

ආණ්ඩුව තමන්ට කීකරු දේශපාලන කණ්ඩායම් වලට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සලසන නමුත් තමන් නගන හඬට ඇහුම්කන් නොදෙන බවත් අජිත් කුමාර හිටපු මන්ත්‍රීවරයා පවසයි.