‘නව ව්‍යවස්ථාවේ අරමුණ ජනතාව බේරා ගැනීම’

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛ කාරණා දෙකක් කෙරෙහි ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය යොමු වනු ඇතැයි ඒ පිළිබඳව මහජන අදහස් විමසීමේ විශේෂ කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායක පවසයි.

ඉන් පළමුවැන්න, රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනු ලැබීම යයි සඳහන් කළ නීතිඥ ලාල් විජේ නායක පසුගිය රජයේ පාලන සමය තුළ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය කඩා වැටී නීතියේ ආධිපත්‍යය බිඳ වැටී අධිකරණයේ ස්වාධීනත්වය විනාශ වී තිබුණ බවයි පෙන්වා දෙන්නේ.

එවැනි පරිසරයක් තුළ 2015 ජනවාරි අට වෙනිදා මහජනතාව විසින් ගන්නා ලද තීන්දුව ආර්ථික සහන පතා ගත් පියවරක් නොව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සහ නීතියේ ආධිපත්‍යය සහතික කරන මෙන් ඉල්ලා සිටිමින් ගත් ක්‍රියා මාර්ගයක්ය යන්න මහජන අදහස් විමසීමේ විශේෂ කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනායකගේ අදහසයි.

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම

Image copyright AFP
Image caption පදවියෙන් පහ කෙරුණ හිටපු අගවිනිසුරුවරිය

පසුගිය කාලය තුල රාජ්‍ය මර්දනය උග්‍ර වී තිබුණ අතර අත්අඩංගුවේ පසු වූ සැක කරුවන් සීයකට අධික සංඛ්‍යාවක් මාංචු පිටින් සිටයදී මරා දමනු ලැබුණ අතර ඒ සම්බන්ධයෙන් කිසිදු නෛතික හෝ අධිකරණ ක්‍රියාමාර්ගයක් නොගත් බවයි ඔහු සිහිපත් කළේ.

අධිකරණයේ ස්වාධීනත්වය ද බිඳ වැටී තිබුණ බව සඳහන් කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව මහජන අදහස් විමසීමේ විශේෂ කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේ නායක, හිටපු අගවිනිසුරුවරිය බලය යොදා ඉවත් කරනු ලැබුනත් ඊට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට අධිකරණය අසමත් වූ බව පෙන්වා දුන්නේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණයේ දී අවධානය යොමු කරන දෙවැනි කාරණය ජාතික සංහිඳියාව වන බවයි ඔහු පවසන්නේ.

ජාතික සංහිඳියාව

‘ජාතික සංහිඳියාවක් නැත්නම් රටට ඉදිරි ගමනක් නැහැ. ජාතික සංහිඳියාවකින් තොරව කිසිම ජයග්‍රහණයක් ලබා ගන්න බැහැ. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් අවශ්‍යයි. සංහිඳියාව භාරව කටයුතු කරන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සමග අද (01)පැවැත්වූ සාකච්ඡාවෙන් අපට එතුමියගෙන් වැදගත් අදහස් රැසක් ලැබුණා’ නීතිඥ ලාල් විජේනායක කියා සිටියි.

එවැනි වෙනසක් සඳහා මෙය සුදුසුම අවස්ථාව බවට ජනතාව තුළ අදහසක් ඇතැයි සඳහන් කළ මහජන අදහස් විමසීමේ විශේෂ කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේ නායක එම කදිම අවස්ථාව පැහැර නොහැරිය යුතු බවයි පෙන්වා දුන්නේ.

ජනතාව දැනුවත්

Image caption සංහිඳියා මාවතේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය කරන්නේ රාජ්‍ය බලය කෙරෙන් මහජනතාව ආරක්ෂා කිරීමට යයි සඳහන් කළ නීතිඥ ලාල් විජේ නායක ‘මහජනයා සිය අයිතිවාසිකම් මොනවාද යන්න දැන සිටිය යුතු බව’ අවධාරණය කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් විමසන කමිටුව මේ වන විට දිස්ත්‍රික් විසි පහක සංචාරය කරමින් ඉතාම වැදගත් යෝජනා රැසක් එක්රැස් කර ඇති බව සඳහන් කළ ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණටත් ලියුම් යවා ඇති නමුත් ඔවුන්ගෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවයි සඳහන් කළේ.