'රැකියා ඕන තරම් ඒත් මිනිස්සු කම්මැළියි' - සුජීව සේනසිංහ

Image copyright z

නව රජය පුද්ගලික අංශයත් සමග එක්ව රට තුළ නව රැකියා අවස්ථා 50,000 කට අධික ප්‍රමාණයක් නිර්මාණය කර ඇතත් එම රැකියා ලබාගැනීමට තරුණ තරුණියන් උනන්දු නොවන බව අන්තර්ජාතික වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නීතිඥ සුජීව සේනසිංහ පවසයි.

රටේ වර්තමාන ආර්ථික තත්වය ගැන බීබීසී කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදීයි රාජ්‍ය අමාත්‍යවරයා එම අදහස පළ කළේ.

‘නව රැකියා පනස් දහසත් ලක්ෂයක් අතර සංඛ්‍යාවක් නිර්මාණය වෙලා තිබෙනවා. ඊයේ මගේ කාර්යාලයේ මහජන දිනය පැවැත්වුනා. හැමෝම ඉල්ලන්නේ ආණ්ඩුවේ රස්සාවල් . කම්මැළිව ඉඳ ගෙන ඉන්න තමයි ඔක්කොම කැමති’රාජ්‍ය ඇමතිවරයා පවසයි.

ඉල්ලන්නේ ආණ්ඩුවේ රැකියා

තේ, මැණික්, ඇඟලුම්, විදුලි උපාංග හා ඉදිකිරීම් වැනි කර්මාන්තවල ඇබෑර්තු රැසක් ඇතත් ඒවා ලබාගැනීමට තරුණ තරුණියන් උනන්දු නොවන බව පවසන අමාත්‍යවරයා එම රැකියාවලින් හොඳ වැටුප් තත්වයක් ලබාගත හැකි බවයි පෙන්වා දෙන්නේ.

‘එම මට්ටමේ වැටුප් වලටම ශ්‍රී ලංකාවේ පුද්ගලයන් විදේශ ගත වෙනවා අලසකමට. කර්මාන්ත ශාලාවල වැඩ කරන්න කැමති නැහැ. චීනයේ සහ කොරියාවේ පවතින වෙනස ඒකයි. ඒ රටවල ජනතාව මහන්සි වෙලා වැඩ කරන්න කැමතියි’ අන්තර්ජාතික වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නීතිඥ සුජීව සේනසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේය. වර්තමාන රජය සංවර්ධන කටයුතුවල නොයෙදෙන බවට විපක්ෂය නගන චෝදනාව ප්‍රතික්ෂේප කල සුජීව සේනසිංහ රාජ්‍ය ඇමතිවරයා කියා සිටියේ තම රජයටත් අවශ්‍ය නම් ණය ලබාගෙන රටට වැඩක් නොමැති කොන්ක්‍රීට් ව්‍යාපෘති ඉදි කළ හැකි බවයි.

කොන්ක්‍රීට් ව්‍යාපෘති එපා

‘මේ රටට ආදායමක් ලැබෙන රටට වැඩක් ඇති ව්‍යාපෘති හැර කොමිස් ලැබෙන නිසා අපි ව්‍යාපෘති ආරම්භ කරන්නේ නැහැ’ඇමතිවරයා පවසයි.

වත්මන් ආණ්ඩුව ණය ලබා ගන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ලබාගත් ණය ගෙවා දැමීමට මිස වෙනත් කාරණා සඳහා නොවන බව ප්‍රකාශ කළ සුජීව සේනසිංහ අමාත්‍යවරයා රජයේ සේවකයන්ට රුපියල් 10,000ක ලබා දුන් පඩි වැඩි වීමත් ඊට හේතු වී ඇති බව පිළි ගත්තේය.

වත්මන් ආණ්ඩුව යටතේ පසුගියදා ප්‍රථම වරට රුපියලේ අගය ඇමරිකානු ඩොලර් 150කට ආසන්න වීමෙන් පෙනී යන්නේ ආණ්ඩුවේ දුර්වල ආර්ථික කළමනාකාරිත්වය නොවේදැයි බීබීසිය විමසූ විට අන්තර්ජාතික වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නීතිඥ සුජීව සේනසිංහ ප්‍රකාශ කළේ ‘තම රජයටත් අවශ්‍ය නම් කලින් රජය මෙන් කෘතිම ලෙස රුපියලේ වටිනාකම රැක ගැනීමේ හැකියාවක් තිබෙන’ බවයි.

රුපියල පාවෙනවා

‘රුපියලේ අගය බලෙන් 130 ක මට්ටමේ රඳවා ගෙනයි තිබුණේ.අපටත් පුළුවන් ඒක කරන්න.125 ක මට්ටමට ගේන්නත් පුළුවන්. හැබැයි ඒක කවදා හරි පුපුරනවා. දැන් අපි රුපියල පා කරලා තියෙනවා. රුපියලට හරි අගය ඩොලරයට ලැබෙනවා. ඉදිරියේ දී රටට ආයෝජන ලැබුණාම රුපියල ශක්තිමත් වේවි' අන්තර්ජාතික වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නීතිඥ සුජීව සේනසිංහ බලාපොරොත්තු පළ කරයි.