'මානව හිමිකම් කඩන විනිශ්චයකරුවන්ටත් නීතිය'

මානව හිමිකම් කඩ කරන විනිශ්චයකරුවන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට හැකි වන අයුරින් නව ව්‍යවස්ථාව සැකසිය යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය යෝජනා කරයි.

වත්මන් ව්‍යවස්ථාව යටතේ අධිකරණ ක්ෂේත්‍රයේ සිදු වන මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්න කිරීමට අවකාශ සලසා නොමැති බවයි එම සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න පෙන්වා දෙන්නේ.

ඒ හේතුවෙන් අධිකරණ ක්ෂේත්‍රයේ සිදු වන මානව හිමිකම් කඩ කිරීම් නිසා පීඩාවට පත් වන ජනතාවට සහනයක් ලබාගැනීමට නොහැකි වී ඇති බවයි ඔහු කියා සිටියේ.

වත්මන් ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ප්‍රශ්න කළ හැක්කේ රජයේ විධායක සහ පරිපාලන ක්ෂේත්‍රයේ නිලධාරීන් විසින් සිදු කරන මානව හිමිකම් කඩ කිරීම් පිළිබඳ පමණක් බවත් නීතිඥ අජිත් ප්‍රසන්න සඳහන් කළේය.

'යෝජිත නව ව්‍යවස්ථාවේදී මම යෝජනා කරනවා, සීමිත තත්වයන් යටතේ අධිකරණ නිලධාරීන්ට එරෙහිවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු පවරලා, යම් හෙයකින් වැරදිකරු වුනොත් අධිකරණ නිලධාරියා තමන්ගේ වැටුපෙන් වන්දි ගෙවන විදිහට මේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය සංශෝධනය විය යුතුය යන්න' ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර