CIDය ජී.එල්ගෙන් ප්‍රශ්න කරයි

Image copyright Getty

යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ නිවසකින් සොයා ගනු ලැබූ පුපුරන ද්‍රව්‍ය තොගය පිළිබඳ සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත.

ඉහත කී පුපුරන ද්‍රව්‍ය තොගය වැල්ලවත්ත ප්‍රදේශයට ගෙන ඒමට සැලසුම් කර තිබී ඇති බවයි හිටපු අමාත්‍යවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් කියා තිබුණේ.

හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් එහි පැමිණ සිටියහ.

පුපුරන ද්‍රව්‍ය ළඟ තබා ගත් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරනවා වෙනුවට ඒ පිළිබඳ මාධ්‍ය වෙත කරුණු දැක්වූ විපක්ෂයේ දේශපාලනඥයන් රහස් පොලිසියට කැඳවා ප්‍රශ්න කරන ස්වභාවයක් දක්නට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේය.

'මේකෙන් ආණ්ඩුව නොකියා කියන්නේ ඔබලා තොරතුරු දැන ගත්තට ප්‍රසිද්ධියට පත් කරන්න එපා. ප්‍රසිද්ධියට පත් කළොත් රහස් පොලිසි ගානේ රස්තියාදු වෙන්න වෙනවා කියන පණිවිඩය තමයි මේ දේශපාලන නායකයන්ට දෙන්නේ.' මන්ත්‍රී විමල් වීරවංශ පැවසීය.

මේ අතර යුද්ධය පැවති ප්‍රදේශවලින් පුපුරන ද්‍රව්‍ය හමුවීම සාමාන්‍ය තත්වයක් බවත් එවැනි සිදුවීම් හරහා ජාතික ආරක්ෂාවට තර්ජන එල්ල නොවන බවත් ඉහත කී පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි අවධාරණය කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර