මුස්ලිම් ළමා විවාහ: 'අම්මා කෙනෙක් විදිහට විරුද්ධයි'

Image caption 'සංකීර්ණ ප්‍රශ්නයක් නිසා සාකච්ඡා කරලා පියවරක් ගත හැකිද කියලා අපි බලනවා'

මුස්ලිම් ප්‍රජාව තුළ සිදු වන ළමා විවාහවලට මවක වශයෙන් තමා එකඟ නොවන බව ළමා සහ කාන්තා කටයුතු පිළිබඳ ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර පවසයි.

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට අනුව අවුරුදු දහඅටට අඩු මුස්ලිම් තරුණ තරුණියන්ට විවාහවීමට අවසර ලබාදීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පසුගියදා පැවති වැඩමුළුවකදී අවධානය පල කර තිබුණි.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතියට අනුව වයස අවුරුදු දහඅටට අඩුවෙන් ළමුන් විවාහ වීම නීතිවිරෝධී වන නමුත් මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට අනුව මුස්ලිම් ප්‍රජාවට එම නීතිය බලනොපැවැත්වේ.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් අවධානය පළකිරීම පිළිබඳව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරුන්ට ප්‍රසාදය පල කරන 'Women Action Network' හෙවත් කාන්තා ක්‍රියාකාරී ජාලය, විවාහය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතිය මුස්ලිම් සමාජයට බලනොපැවැත්වීම ළමා අයිතිවාසිකම් විෂයයෙහිලා යහපත් ප්‍රවනතාවයක් නොවන බව පෙන්වාදෙයි.

Image caption පසුගියදා පැවති වැඩමුළුවකදී මුස්ලිම් සමාජයේ ළමා විවාහ පිළිබඳ ප්‍රශ්නය මතු කර තිබෙන්නේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය විසින්

මුස්ලිම් ප්‍රජාව අතර එවැනි බාල වයස් විවාහ සිදු වන බව වාර්තා වී ඇති බව පවසන ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර, ඒ සම්බන්ධයෙන් මුස්ලිම් නායකයන් හා අධිකරණ අමාත්‍යංශය සමග සාකච්ඡා කොට විසඳුමකට පැමිණිය යුතු බවයි කියා සිටියේ.

"මට ඒක කාන්තා ඇමතිනිය වශයෙන් තනිව ගත හැකි තීන්දුවක් නොවෙයි. සංකීර්ණ ප්‍රශ්නයක් නිසා සාකච්ඡා කරලා පියවරක් ගත හැකිද කියලා අපි බලනවා," ඇය සඳහන් කළේය.

ළමා සහ කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ඉහත කී විවාහ සම්බන්ධයෙන් තමා වෙත කරුණු දන්වා ඇති බවත් ළමා සහ කාන්තා කටයුතු පිළිබඳ ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර වැඩිදුරටත් කියා සිටියේය.

නව ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවති ඉහත කී වැඩමුළුවේදී අදාළ ප්‍රශ්නය මුස්ලිම් සමාජය විසින් විසඳාගත යුත්තක් බවට අමාත්‍ය රවුෆ් හකීම් පල කළ අදහසට දැඩි විරෝධය පළකරන කාන්තා ක්‍රියාකාරී ජාලය පවසන්නේ මුස්ලිම් සමාජයේ ළමා විවාහ පිළිබඳ ප්‍රශ්නය මුස්ලිම් ජනතාව පිළිබඳ ගැටලුවක් ලෙසින් ලඝු නොකළ යුතු බවයි.

ඕනෑම සමාජයක ළමා විවාහ සිදුවන්නේ නම් එය මානව හිමිකම් සහ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක් බවයි මුස්ලිම් ක්‍රියාධාරිනියන්ද සාමාජිකත්වය දරන කාන්තා ක්‍රියාකාරී ජාලය අවධාරණය කරන්නේ.