අපි කළේ වකුගඩු 'පරිත්‍යාගයක්'

Image copyright AFP

සිය වකුගඩු පරිත්‍යාග කළ බව නීති විරෝධී වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ජාතික සැකකරුවෝ අධිකරණය හමුවේ පවසති.

අදාළ නඩු විභාගය පසුගියදා කැඳවූ අවස්ථාවේදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ අත් අඩංගුවේ පසු වන ඉන්දීය ජාතිකයින් අට දෙනාගෙන් හය දෙනෙකුගේම වකුගඩු ඉවත කර ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී වූ බවයි.

ඉහත කී නඩුව අද යළි කැඳවූ අවස්ථාවේ, සිය සේවාදායකයන් ශ්‍රී ලංකාවේදී වකුගඩු පරිත්‍යාග කිරීමක් සිදු කළ බව සැකකරුවන් හය දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීහු අධිකරණයට දන්වා සිටියහ.

ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව පුද්ගලික රෝහලකදී වකුගඩු පරිත්‍යාගය සිදු කළ බවයි සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂණ ඩයස් ප්‍රකාශ කළේ.

'මෙම සැකකරුවන් නවලෝක සහ ලංකා රෝහල වැනි ප්‍රධාන රෝහල්වලදී නීතියට අනුකූලව වකුගඩු පරිත්‍යාගය සිදු කළ බව ප්‍රකාශ කළා. එම පරිත්‍යාග කිරීම් සිදු කර තිබෙන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය සහිතවයි.' නීතිඥ ලක්ෂාන් ඩයස් පැවසීය.

'අනුමැතිය සහිතව'

අදාළ චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන්නේ නම් ඒ සඳහා පූර්ණ සහාය ලබා දෙන බවද සැකකරුවෝ අධිකරණයට දන්වා සිටියහ.

එහිදී පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ වකුගඩු ජාවාරමේ අතරමැදියන් ලෙස කටයුතු කළ පුද්ගලයින් පිළිබඳ පරීක්ෂණ පවත්වන බවයි.

සැකකරුවන් බාරයේ තිබී අත් අඩංගුවට ගන්නා ලද සැක කටයුතු ලේඛන පිළිබඳ පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය පැවසීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 18 වනදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය පොලිසියට නියෝග කොට සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර