උතුරේ ආයුධ නැති අලුත් සටනක්

Image copyright Getty

උතුරු පළාත තුළ මත්ද්‍රව්‍ය භාවිතය හා සංසරණය ඉතා සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පොලිස් වාර්තා සහ සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙන බව උතුරු පළාත් සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය පී සත්‍යලිංගම් පවසයි.

ඊට හේතු වශයෙන් ඔහු පෙන්වා දෙන්නේ යුද්ධය අවසන් වුවත් ජනතා ප්‍රශ්න විසඳි නොමැති හෙයින් ඔවුන් මුහුණ පා සිටින ගැටලු මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම කෙරෙහි බලපා ඇති බවයි.

තම ඥාතීන් මියයාම, අතුරුදහන් වීම, බලාපොරොත්තු කඩ වීම, පවුල් ප්‍රශ්න හා ආර්ථික ගැටලු ඒ අතර ප්‍රධාන වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම පිණිස විවිධ සෞඛ්‍ය වැඩසටහන් රැසක් උතුරු පළාත තුළ ක්‍රියාත්මක කිරීමට පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇතත් එය එම ආයතනයට පමණක් තනිව කළ නොහැකි කාර්යයක් බවද පී සත්‍යලිංගම් අමාත්‍යවරයා සඳහන් කළේය.

අත්අඩංගුවට ගැනීම, නීති දැඩි කිරීම අනිවාර්ය විය යුතු අතර පොලීසිය, මහජන සංවිධාන ඇතුළු සෑම පාර්ශවයක්ම උතුරේ මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීමට එක් විය යුතු බවද ඔහු පැවසීය.

නීති දැඩි කිරීම

ඉන්දියාව ආසන්නයේ උතුරු පළාත පිහිටා තිබීම නිසා ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර මත්ද්‍රව්‍ය හුවමාරු වීම නිරන්තරයෙන් සිදු වන බවයි උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය පී සත්‍යලිංගම් වැඩිදුරටත් කියා සිටියේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගියදා යාපනයේ කළ සංචාරයකදී කියා සිටියේ මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම ආයුධ භාවිතයට වඩා භයානක බවයි.

උතුරේ මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සඳහා රජය විසින් ව්‍යාපෘති කීපයක් දියත් කොට ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර