අම්බලන්තොටට වැසි නැති ගංවතුරක්

වලවේ ගඟේ ජල මට්ටම ඉහල යාම හේතුවෙන් අම්බලන්තොට වාදුරුප්ප, පට්ටිය වරාය, දෙල්ගහවත්ත ප්‍රදේශයන්හි නිවාස පනහකට අධික ප්‍රමාණයක් ජලයෙන් යට වී තිබේ.

අද (05 වෙනිදා) අලුයම 12.30ට පමණ හදිසියේ ගලා ආ වතුරෙන් සිය නිවාස යටවූ බවයි එම ප්‍රදේශ වාසීන් පැවසුවේ.

හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ උඩවලව ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයන්ට පවතින දැඩි වර්ෂාව නිසා ජලාශයේ ජල මට්ටම ඉහල යාම පාලනය කර ගැනීමට වාන් දොරොටු පහක් අඩි එකහාමාර( 1 1/2 ) බැගින් පසුගිය 4 වෙනිදා සවස විවෘත කිරීමට සිදු වූ බවයි.

ඒ හේතුවෙන් වලවේ ගඟේ ජල මට්ටම ඉහල යාම සහ වලවේ ගංගාවේ මෝය කට අවහිර වීම නිසා අම්බලන්තොට වාදුරුප්ප ,පට්ටියවාරාය ප්‍රදේශයන්ට ගංවතුර තත්වය ඇතිවූ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ .

කෙසේ වෙතත් ගංවතුරින් ආපදාවට පත් ජනතාව ප්‍රකාශ කළේ අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් ගංවතුර පිළිබඳ ඔවුන් දැනුවත් කර තිබුනද වලවේ ගඟේ මෝය විවර කිරීම සඳහා පත් කර ඇති සමිතියේ නිලධාරීන් එය කලින් විවර කිරීමට කටයුතු නොකිරීම නිසා මෙම ගංවතුර තත්වයට තමන්ට මුහුණ දීමට සිදු වූ බවයි .

අම්බලන්තොට වාදුරුප්ප ඇතිවූ ගංවතුර තත්වයත් සමග ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් හා අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් බැකෝ යන්ත්‍ර යොදා මෝය කට විවිර කිරීමට පියවර ගෙන තිබේ.

ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කර සිටියේ පසුව අලුයම 4.30 පමණ වන විට ගංවතුර බැස ගිය බවයි.

නමුත් සිංහල අවුරුදු සමයේ ගෙවල් දොරවල් පවිත්‍ර කර ඒ සඳහා සුදානම් වූ අවස්ථාවක ඇතිවූ ගංවතුර තත්වයෙන් තමන් දැඩි අපහසුතාවකට පත්වූ බවයි ඔවුන් වැඩි දුරටත් කියා සිටියේ.

සබැඳි විෂයයන්