ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වැඩ අරඹයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වූ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව ලද වහාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඇතුලත් වන අනූ කමිටු සංඛ්‍යාව පිළිබඳ තීරණ මෙහෙයුම් කමිටුව විසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අඟහරුවාදා පාර්ලිමේන්තු සැසි වාරයෙන් පසු සියලුම පාර්ලිමේන්තු සාමාජිකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ලෙස සිය මංගල රැස්වීම පවත්වනු ලැබූ අවස්ථාවේදීයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මනාප ක්‍රමය වෙනුවට තම ප්‍රදේශය නියෝජනය කරන මහජන නියෝජිතයන් පත් කර ගැනීම, ආදී වැදගත් බලාපොරොත්තු ඉටුවන රටට සුදුසු ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුත්තේ රටේ ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු සාමාජිකයන් වන බවයි කතානායක කරු ජයසූරිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ ආරම්භක කතාව සිදු කරමින් කියා සිටියේ.

ජනමාධ්‍යයට විවෘතයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ඉදිරියේ දී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ කරුණු පැහැදිලි කළ කතානායකවරයා පැවසුවේ, මණ්ඩලයට අවශ්‍ය පූර්ණ බලතල දැනට පවතින හැත්තෑ පස් වන ව්‍යවස්ථාවෙන් ජනතා නියෝජිතයන්ට හිමි වන අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය නමින් පාර්ලිමේන්තු කාරක සභාවක් ලෙස ක්‍රියාත්මක වන අතර සියලුම පාර්ලිමේන්තු සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ජනතා අදහස් සැලකිල්ලට ගෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සැකසීම වෙනුවෙන් කැප වන බවයි.

ඒ අනුව මණ්ඩලය තුල සිදුවන සියලුම සාකච්ඡා ලේඛන ගත කෙරෙන අතර එම තොරතුරු සියලුම ජනමාධ්‍යයට විවෘත වන බවත් රූපවාහිනිය ඔස්සේ එම කටයුතු නැරඹීමේ අවස්ථාව ජනතාවට හිමි වන බවත් කතා නායකවරයා පැවසුවේය.

Image copyright defence.lk

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ සභාපතිත්වය කතානායක වන තමන්ට හිමිවන බව පැවසූ කරු ජයසූරිය වැඩි දුරටත් කියා සිටියේ මණ්ඩලයේ මුලසුන හෙබවීමට සහය ලබා දීම සඳහා නියෝජ්‍ය සභාපතිවරු හත් දෙනෙකු තෝරා පත් කර ගත යුතුව පවතින බවයි.

මෙහෙයුම් කමිටුව

ඉදිරියේදී පැවැත්වීමට නියමිත සභා වාර වලදී සාකච්ඡා වන කරුණු වලට අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ කාර්ය වෙනුවෙන් සාමාජිකයන් විසි දෙනෙකු සහ සභාපතිවරයෙකුගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පත් කර ගැනීම අවශ්‍ය බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

Image copyright gosl

ඒ අනුව නැගී සිටි උසස් අධ්‍යාපන සහ මාර්ග සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ උප සභාපතිවරු හත් දෙනා වෙනුවෙන් තිලංග සුමතිපාල, සෙල්වම් අඩෙයිකලනාදන්, කබීර් හෂීම්, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, තිලක් මාරපන, මහින්ද යාපා අබේවර්ධන සහ නලින්ද ජයතිස්ස යන පාර්ලිමේන්තු සාමාජිකයන් නම් කළ අතර සභාව ඔවුන් පත් කර ගැනීමට සිය කැමැත්ත පළ කළහ.

එම පත් කර ගැනීමෙන් පසු සභාව ඇමතූ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍ය ගයන්ත කරුණාතිලක අගමැති රනිල් වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුතු මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් විසි එක දෙනා නම් කළ අතර සභාවේ අනුමැතිය මෙහෙයුම් කමිටුවට හිමි විය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වූ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව එළඹෙන අප්‍රේල් තිස් එක වෙනිදාට පෙර ලබා දීමට කටයුතු කරන බව එහි සභාපති ලාල් විජේනායක තමන්ට දැන්වූ බවයි අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර