එල්ටීටීඊය යළි කිසි දිනක හිස ඔසවන්නේ නැහැ - සිවඥාණම්

Image copyright np.gov.lk
Image caption උතුරු පළාත් සභාවේ සභාපති සීවීකේ සිවඥාණම්

දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් දකුණේ ඇතැම් දේශපාලන බලවේග යළි යුද්ධයක් නිර්මාණය වන බව පැවසුවත් යුද්ධයක් අවශ්‍යව ඇත්තේ එම පිරිස්වලට පමණක් බව උතුරු පළාත් සභාවේ සභාපති සීවීකේ සිවඥාණම් පවසයි.

එල්ටීටීඊ සංවිධානය යළි කිසි දිනක හිස ඔසවන්නේ නැති බවත් දෙමළ ජනතාව යළි යුද්ධයක් කෙරෙහි තල්ලු නොවන බවත් ඔහු සඳහන් කළේ පසුගියදා උතුරෙන් හමු වූ මරාගෙන මැරෙන ඇදුම් කට්ටල දෙක සහ පුපුරන ද්‍රව්‍ය පිළිබඳ යාපනයේදී අදහස් දක්වමිනුයි.

එදා පැවතියේ එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් තනි මතයකට අනුව ගෙන ගිය අරගලයක් බව හඳුවාදෙන උතුරු පළාත් සභාවේ සභාපතිවරයා, ඔහු මිය යාමත් සමගම එම සංවිධානයට යළි පණ දීමට කිසිවෙකුත් නැති බවයි සඳහන් කළේ.

පුපුරන ද්‍රව්‍ය

ලෝකයේ වෙනත් රටවල එල්ටීටීඊ සාමාජිකයින් සිටින නමුත් ප්‍රභාකරන් නොමැති පරිසරයක යළිත් සන්නද්ධ අරගලයක් සංවිධානය කිරීමට හැකියාවක් නොමැති බවත් පළාත් සභා මන්ත්‍රීවරයා කියා සිටියේය.

ප්‍රභාකරන්ගේ තනි මතවාදය අවසන් වී ඇති බැවින් දෙමළ ජනතාව යළිත් එවැනි අරගලයක් කෙරෙහි හෝ ආයුධ සටනක් කෙරෙහි විශ්වාසය නොතබන බවයි සභාපතිවරයා පවසන්නේ.

යුද්ධය හමාර වී වසර හතක් ගිය පසුව යාපනයේදී හමු වුණු යුද උපකරණ වසර දහයකට වඩා පැරණි ඒවා බව තමන් විශ්වාස කරන බව පැවැසූ උතුරු පළාත් සභාවේ සභාපති සීවීකේ සිවඥාණම් එම සිද්ධිය මුල් කරගෙන දේශපාලන වාසි ලබා ගැනීම තමන් අනුමත නොකරන බවද කියා සිටියේය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර