නව ඇමතිවරු පත්කිරීම: 'අප්‍රසන්න ක්‍රියාවලියක්'

Image caption 'ඇමති පදවි ලබාදීමෙන් ආණ්ඩු බලය ගොඩනගා ගැනීම කියන එක අතුරේ යනවා වගේ වැඩක්'

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නව රාජ්‍ය අමාත්‍යවරයකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කිරීම සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය දැඩි විවේචනයට ලක් කරයි.

විශේෂයෙන්ම සිය ව්‍යාපාරය මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිවීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ විශාල කැබිනට් මණ්ඩලයක් මහජනතාවට නඩත්තු කිරීමට සිදුවීම බවයි එහි කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය බීබීසී සංදේශයට කියා සිටියේ.

එතරම් විශාල කැබිනට් මණ්ඩලයක් ශ්‍රී ලංකාවට අවශ්‍ය නැති බවට සිය ව්‍යාපාරය එදා දැරූ ස්ථාවරයේ දැනටත් කිසිදු වෙනසක් නැති බව පවසන මහාචාර්ය විජේසූරිය, යහපාලන ආණ්ඩුව යටතේත් එය දිගටම සිදුවීම හඳුන්වන්නේ 'අප්‍රසන්න ක්‍රියාවලියක්' ලෙසින්.

Image caption නව නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර, රාජපක්ෂ පාලනයේ සමීපම හිතවතෙකු විය

ඔහු ඒ බව කියා සිටියේ, සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර විදේශ රැකියා ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, බදුල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය ඇමතිවරයා ලෙසත් කළුතර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික නියෝජ්‍ය ඇමතිවරයා ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීම පිළිබඳව අදහස් දක්වමින්.

"ඇමති පදවි ලබාදීමෙන් ආණ්ඩු බලය ගොඩනගා ගැනීම කියන එක අතුරේ යනවා වගේ වැඩක්," ඔහු පැවසීය.

පරාජිත පුද්ගලයා 'විශාල ධන බලයක් අතේ තබාගෙන' සිය පවුලේ ආරක්ෂාව වෙනුවෙන් අරගලයක් දියත් කිරීම හේතුවෙන් ආණ්ඩුව ආරක්ෂා කරගැනීමට ජනාධිපතිවරයාට සිදු වී තිබෙන බව දන්නා නමුත්, ඒ පිළිබඳව තමන්ට තිබෙන්නේ 'විශාල කම්පනයක්' බවත් මහාචාර්ය සරත් විජේසූරිය පැවසීය.

නාස්තිය

මේ ගමන 'අභාග්‍ය සම්පන්න අවසානයක්' කරා ළඟාවීමට ඉඩ තිබෙන බවත් ඔහු කියා සිටියේ, සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රුපියල් කෝටි තුනකට අධික වියදමින් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ගොවි සම්මේලනයක් පැවැත්වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් මහාචාර්යවරයා පැවසීය.

නාස්තිය සහ දූෂණය පිටුදැකීම වත්මන් ආණ්ඩුවේ ප්‍රධානම මැතිවරණ පොරොන්දුවක් වූ බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු සිහිපත් කළේය.

එවැනි ප්‍රතිඥා දී බලයට පත් වූ ආණ්ඩුවක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය කළමනාකරණය කිරීමේ ක්‍රියාවලියට අසංවේදී බවක් දක්නට ලැබෙන බවයි ඔහු පවසන්නේ.

මේ ආණ්ඩුව පෙරලා දැමීම සිය ව්‍යාපාරය සූදානම් බවක්, සිය විවේචන මගින් කිසිසේත්ම ගම්‍ය නොවන බවත් මහාචාර්ය විජේසූරිය අවධාරණය කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර