හෙරොයින් ජාවාරමේ විදෙස් සැක කරුවෝ අධිකරණයට

Image copyright Getty

පසුගිය සතියේ ශ්‍රී ලංකා දකුණු මුහුදු තීරයේදී හෙරොයින් මත් කුඩු කිලෝග්‍රෑම් සියයකට අධික ප්‍රමාණයක් සමග අත් අඩංගුවට ගන්නා ලද විදේශිකයින් එකොළොස් දෙනා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබීය.

කොළඹ මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් රඳවා ගෙන ප්‍රශ්න කළ මෙම සැකකරුවන් අද (07 වෙනිදා) අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණ.

පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම සිද්ධියට අදාළව තව දුරටත් පරීක්ෂණ සිදු කරන බවයි.

මෙම පරීක්ෂණ සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහයද ලබාගැනීමට තීරණ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරුවන් ලබන 19 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය.

මෙම සැකකරුවන් අතර ඉරාන ජාතිකයින් නව දෙනෙකු සහ පකිස්තාන ජාතිකයින් දෙදෙනෙකු ඇතුළත් වන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.