වරකාගොඩ හිමියන් අස්ගිරි මහානායක පදවියට

Image caption අභිනව මහනාහිමියෝ අස්ගිරි පාර්ශවයේ උරුලෑවත්ත සඟ පරපුරෙන් බිහි වූ දහ වැනි මහ නාහිමියෝ වෙති.

අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික හිමිවරු අද (07) පස්වරුවේ අස්ගිරි විහාරීය මංගල උපෝෂථගාරයට රැස්ව ඒකච්ඡන්දයෙන් නව මහ නාහිමියෝ තෝරා පත් කර ගත්හ.

සංඝ සභාව විසින් එම පත් කර ගැනීම සිදු කරනු ලැබ තිබෙන්නේ ජ්‍යෙෂ්ඨත්වය මූලික කර ගනිමිනි. අභිනව මහනාහිමියෝ අස්ගිරි පාර්ශවයේ උරුලෑවත්ත සඟ පරපුරෙන් බිහි වූ දහ වැනි වන මහ නාහිමියෝ වෙති.

අදාළ පදවිය සඳහා ඉදිරිපත් වන බව කළින් දැනුම් දී සිටි අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි නාහිමියෝ එම පදවිය සඳහා ඉදිරිපත් නොවූහ.

Image caption අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියෝ උරුලෑවත්තේ සඝ පරපුර නියෝජනය කැරමින් පැවිදි දිවියට ඇතුළත්ව ඇත්තේද මහපදවියට පත් අප්‍රේල් මස 07 වැනිදාවකම වීම විශේෂය.

සියම් නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ අනුනායක පදවියට වසර 2015 මැයි මස 25 දින පත් වූ ඥානරතන හිමියෝ මහ නායක පදවියට පත් වන විට එම ධුරයේ මාස 11 කට ආසන්න කාලයක් කටයුතු කර ඇත.

අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සි අස්ගිරි පාර්ශවයේ 21 වන මහනාහිමියන්ගේ අපවත් වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහායි අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාවේ බහුතර කැමැත්තෙන් වරකාගොඩ ඥානරතන හිමියන් තෝරා පත් කර ගන්නා ලද්දේ.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර