ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'දියවැඩියාවට සිංගපූර් බෙහෙත්වලින් වැඩක් නැහැ'

ලෝකයේ දියවැඩියා රෝගීන්ගේ සංඛ්‍යාව 1985 වසරේ කෝටි පහක් හැටියට වාර්තා වූ අතර 1995 වන විට එය කෝටි පහළොවක් වූ අතර 2005 දී එය කෝටි විසිපහක් ද 2015 වනවිට එම සංඛ්‍යාව කෝටි තිස්පහක් බවට පත්ව ඇතැයි ජාතික දියවැඩියා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේන් විජේසුරිය පවසයි.

ලෝකය පුරා තවත් කෝටි විස්සක් පමණ ජනයා දියවැඩියා රෝගයට ගොදුරු වෙමින් සිටින බවත් වෛද්‍යවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ තත්වය විස්තර කරමින් වෛද්‍ය මහේන් විජේසූරිය සඳහන් කරන්නේ රටවැසියන්ගෙන් 10% ක් දැනටමත් රෝගයට ගොදුරු වී ඇති අතර තවත් 10% ක් රෝගයට ගොදුරු වීමේ තත්වයේ පසු වෙන බවයි.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් පහෙන් එකක් එලෙස දියවැඩියාවෙන් පෙලීම රටක් හැටියට ඉතාම අනතුරුදායක තත්වයක් වන බවත් වෛද්‍ය මහේන් විජේසුරිය පෙන්වා දෙයි.

ගමේ සිරිය

රෝගයට ගොදුරු වීමට බලපාන හේතු දීර්ඝ වශයෙන් විග්‍රහ කරන ජාතික දියවැඩියා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේන් විජේසුරිය දැනට පවතින අවිවේකී හදිසි තරඟකාරී ජීවන රටාව ඊට බලපාන ප්‍රධාන සාධකය හැටියට හඳුනා ගනී.

මේ තත්වයේ කනගාටුදායක අවස්ථාව ළමුන් රෝගයට ගොදුරු වීම යයි පවසන ජාතික දියවැඩියා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේන් විජේසුරිය එවැනි දරුවන් අකාලයේ විවිධ රෝගාබාධවලට ගොදුරු වියහැකි බවට අනතුරු ඇඟවීමක්ද කරයි.

එම අනතුරින් බේරීමට නම් 'ගමේ තාලයට ජීව රටාව සකස් කර ගත යුතු' යයි පවසන ජාතික දියවැඩියා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේන් විජේසුරිය නාගරික ජීවන රටාව තුළ හැඩගැසී ඇති හදිසිය නතර කොට ගමේ සිරියෙන් ජීවත්විය යුතු බවයි කියා සිටියේ.

රෝගය වැළඳුන පසු සිංගපූරුවෙන් බෙහෙත් ගත්තාට වැඩක් නොමැති බවයි වෛද්‍යවරයා පවසන්නේ.

ජාතික දියවැඩියා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේන් විජේසුරිය බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවට මෙම පිටුවෙන් සවන් දෙන්න.