අගෝස්තු 17 න් පසු මම තවත් ගමනක -මනූෂ

Image copyright Manusha Nanayakkara

ඒකාබද්ධ විපක්ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදා වෙන් කිරීමට දරණ උත්සාහයට සහයෝගය නොදෙන බව විදේශ රැකියා ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

ආණ්ඩුවට එක් වෙමින් නියෝජ්‍ය ඇමති පදවියක් ලබා ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද(08) මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි නව නියෝජ්‍ය ඇමතිවරයා එම ප්‍රකාශය කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම මත ආණ්ඩුවට එක්ව නියෝජ්‍ය ඇමති පදවියක් ලබා ගත් බවයි විදේශ රැකියා ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර වැඩිදුරටත් පවසන්නේ.

2010 එජාපයෙන්

2010 මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිසුණ මනුෂ නානායක්කාර පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කඳවුර නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට යළි තේරී පත් වූ අතර ඔහු දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ශවයට සහය පළ කරමින් ආණ්ඩුවට එක්ව නියෝජ්‍ය ඇමති පදවියක් ලබා ගත්තේය.

Image caption නියෝජ්‍ය ඇමතිවරයා(දකුණේ) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමඟ

‘සමහරු අහනවා මම දැන් පිල් මාරු කරලද කියල. නැහැ! එදත් අදත් හෙටත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. මගේ පක්ෂය සම්මුතිවාදී ආණ්ඩුවට එක් වෙලා තියෙද්දී නිකම් පඩි අරන් ඉන්නවාට වඩා රට ඉදිරියට යන මේ ගමනට සහය දෙන එක හොඳයි කියලයි මේ තීරණය ගත්තේ' නව නියෝජ්‍ය ඇමති මනූෂ නානායක්කාර පවසයි.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඔවුන් අතර සිටින කීප දෙනකුගේ උවමනාව අනුව හැසිරෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට කටයුතු කරන බව පැවසූ මනුෂ නානායක්කාර නියෝජ්‍ය අමාත්‍යවරයා,එම සුළුතර මන්ත්‍රීවරුන් විසින් දියත් කර ඇති ක්‍රියාදාමය ‘නගුට විසින් බල්ලා වැනීමක්’ වැනි බවයි උපමාවකින් සඳහන් කළේ.

පවුල් වාදයට එරෙහිව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරාජයට හේතු වූ පිරිස් නැවත ඒකාබද්ධ විපක්ෂයට එක් වී එහි පවුල් වාදය යළි ගොඩ නගන බවට මනූෂ නානායක්කාර නියෝජ්‍ය අමාත්‍යවරයා චෝදනා කරයි.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් වෙනම කණ්ඩායමක් ලෙස පෙනී සිට දැන් මෙසේ වෙනස් වීම ගැන මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළ විට ‘තමන් අගෝස්තු 17 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ඒකාබද්ධ විපක්ෂයේ කිසිදු කාර්යයකට සම්බන්ධ නොවූ බවයි මනූෂ නානායක්කාර නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ.

සබැඳි විෂයයන්