යාපනයේ ජන හඬ අදත් වීදියේ

උතුරු සහ නැගෙනහිර යුද අනාථයන් සඳහා චීන ආධාර යටතේ ආණ්ඩුව විසින් ඉදි කරනු ලැබීමට නියමිත නිවාස ව්‍යාපෘතියක් ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් යාපනයේ උද්ඝෝෂණයක් පැවැත්විණි.

උද්ඝෝෂකයන්ගේ ප්‍රධාන ඉල්ලීම වී ඇත්තේ යුද අනාථයන් වෙනුවෙන් චීන ආධාර යටතේ ඉදි කිරීමට නියමිත නිවාස 65,000 ක ව්‍යාපෘතියක් නතර කරන ලෙසයි.

ඉහත කී නිවාස සියල්ලම පෙරසවි නිමි නිවාස බැවින් ඒවා පළාතේ දේශගුණයට, සංස්කෘතියට හා ආරක්ෂාවට නොගැළපෙන බවයි විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ.

එබැවින් යුද අනාථයන්ට එම නිවාස වෙනුවට ස්ථිර නිවාස ලබා දෙන ලෙස උද්ඝෝෂකයෝ ඉල්ලා සිටිති.

මේ අතර යාපනයේ චුන්නාකම් වැසියන්ගේ පානීය ජල ගැටලුවට වහා ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙසත් විරෝධතාවට එක් වූ පිරිස් ආණ්ඩුවට බල කොට සිටියහ.

'විෂ ජලය'

චුන්නාකම් පළාතේ පානීය ජලයට විෂ මුසු වී ඇති බවට පරිසර විද්‍යාඥයන් පිරිසක් මීට වසර දෙකකට ඉහතදී අනතුරු හඟවා සිටි බවයි විරෝධතාකරුවන් සඳහන් කළේ.

පානීය ජල ගැටලුව හේතුවෙන් චුන්නාකම් පළාතේ පවුල් 13,000 ක් පමණ පීඩාවට පත්ව සිටින බවත් ඔවුන්ට පිරිසිදු පානීය ජලය සැපයීම සඳහා කඩිනම් වැඩපිළිවලක් ක්‍රියාත්මක කරන ලෙසත් උද්ඝෝෂණයට සහභාගී වූවෝ ඉල්ලා සිටියහ.

ත්‍රිකුණාමලයේ සාම්පූර්හි ඉන්දීය ආධාර යටතේ ඉදි කෙරෙන තාප විදුලි බලාගාරය වහා නතර කිරීමට පියවර ගන්නා මෙන්ද විරෝධතාකරුවෝ ඉල්ලා සිටිති.

තාප විදුලි බලාගාරය නිසා පළාතේ පාරිසරික ගැටලු රැසක් හට ගන්නා බව පෙන්වා දෙන උද්ඝෝෂකයෝ විශේෂයෙන්ම පළාතේ කෘෂිකර්මාන්තයටත් ධීවර කර්මාන්තයටත් බලපෑම් සිදු වන බව පවසති.

සිය ගැටලු ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කිරීමේ අරමුණින් විරෝධතාකරුවන් සිය ඉල්ලීම් ඇතුළත් ලිපියක් යාපනය දිසාපතිවරාට බාරදී ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර