ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

චීන - ශ්‍රී ලංකා ඒකාබද්ධ සංවර්ධන සැලැස්මක්

ඉදිරි දශක කීපය තුළ චීනය සමග ඒකාබද්ධ සංවර්ධන වැඩපිළිවලක් ගොඩ නගා ගැනීමේ අරමුණින් සිදු කෙරුණු සාකච්ඡා සාර්ථක වූ බව සිය බීජිං සංචාරය අවසන් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඊට අමතරව කලාපයේ දේශපාලන සහ ආර්ථිකමය වශයෙන් වැදගත් කරුණු කීපයක් සම්බන්ධයෙන්ද චීන සංචාරය අවසන් කරමින් පැවති මාධ්‍ය හමුවේදී අගමැතිවරයා අදහස් දැක්වූ බව බෙයිජිං ගුවන් විදුලියේ සිංහල අංශයේ මාධ්‍යවේදී චන්දන තිලකරත්න බීබීසී සංදේශයට කියා සිටියේය.

චීනය ගෙන යන එක් තීරයක් එක් මාවතක් සහ විසි එක් වන සියවසේ සේද මාවත වැඩපිළිවලට දායක වීමට ශ්‍රී ලංකාවේ ඇති කැමැත්ත ප්‍රකාශ කළ බවත් අගමැතිවරයා එහිදී සඳහන් කොට තිබේ.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යායාමය එම වැඩපිළිවලට ඒකාබද්ධ කිරීමට කැමැත්ත ප්‍රකාශ කළේ යැයි අගමැතිවරයා කියා සිටි බවත් ඔහු පැවසීය.

වරාය නගර ව්‍යාපෘතිය කිසිවකුටත් තර්ජනයක් නොවන බවත් ඒ හරහා ව්‍යාපාරික අවශ්‍යතා පාදා දීම පමණක් සිදු වන බවත් අගමැතිවරයා සඳහන් කොට තිබේ.

'සෑම ක්ෂේත්‍රයකම'

චීන ශ්‍රී ලංකා සබඳතා පිළිබඳ යම්කිසි කුකුසක් ඇති වී තිබුණේ නම් සංචාරය අවසානයේ නිකුත් කරන ලද දෙරට අතර ඒකාබද්ධ ප්‍රකාශනය හේතුවෙන් එවැනි තත්වයන් මග හැරෙන බව පෙනී යන බවත් මාධ්‍යවේදී චන්දන තිලකරත්න සඳහන් කළේය.

'විශේෂයෙන්ම දෙරට අතර සෑම ක්ෂේත්‍රයකම වගේ ද්විපාර්ශ්වීය සහයෝගිතා මේ ඒකාබද්ධ ප්‍රකාශනයෙන් පිළිබිඹු වෙනවා.' ඔහු පැවසීය.

ඉන්දීය සාගරයේ සාමය පිළිබඳ අගමැතිවරයා එහිදී අදහස් දැක්වූ බවත් ඔහු සඳහන් කළේය.

'විශේෂයෙන්ම ඉන්දියානු සාගරයේ සාමය කඩ වෙන්න, සාක් රටවලට කිසිඳු හානියක් සිදු වෙන්න ශ්‍රී ලංකාව කිසිවිටකත් ඉඩ දෙන්නේ නැහැ කියන කාරණය අගමැතිවරයා අවධාරණය කළා' බෙයිජිං ගුවන් විදුලියේ සිංහල අංශයේ මාධ්‍යවේදී චන්දන තිලකරත්න වැඩිදුරටත් කියා සිටියේය.