උතුරේ සතොස තොග ගබඩා යළි විවෘතයි

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ වසර දොළහක් පුරා වැසී ගොස් තිබුණු සතොස ප්‍රාදේශීය තොග ගබඩා යළි විවෘත කිරීම වවුනියාවෙන් ආරම්භ විය.

මේ අවස්ථාවට සහභාගි වූ කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් පැවසුවේ මින් පෙර සතොස ආයතනය රටේ පාඩු ලබන ආයතනයක් වශයෙන් පැවති බවයි.

නමුත් මේ වන විට රජයෙන් කිසිදු මූල්‍ය ආධාරයක් ලබා නොගෙන සතොස ආයතනය ලාබ ලබන ආයතනයක් බවට පත් කර ගැනීමට හැකි වී ඇතැයිද අමාත්‍යවරයා කියා සිටියේය.

දිවයින පුරා සතොස සිල්ලර වෙළෙඳසැල් තුන්සිය දාහතරක් මේ වන විට ආරම්භ කිරීමට හැකි වී ඇති බව කියා සිටි රිෂාර්ඩ් බදියුදීන් අමාත්‍යවරයා ඉදිරියේ දී බදුල්ල, අම්පාර සහ කුරුණෑගල යන පළාත් වලද සතොස ප්‍රාදේශීය තොග ගබඩා ආරම්භ කිරීමට පියවර ගන්නා බව පැවසීය.

යුද්ධය හේතුවෙන් විනාශ වී ගිය උතුරු නැගෙනහිර සියලුම මහා පරිමාණයේ කර්මාන්ත ශාලා යළි විවෘත කිරීමට පියවර ගෙන ඇති බව කී කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා කන්කසන්තුරයේ සිමෙන්ති කම්හල සහ පරන්තන් ලුණු ලේවායේ කටයුතු දැනටමත් ආරම්භ කොට ඇති බවද කියා සිටියේය.

මේ මගින් පළාතේ රැකියා විරහිත පිරිසෙන් ලක්ෂ දෙකකට පමණ රැකියා ලබා දීමට හැකි වෙතැයිද අමාත්‍යවරයා සිය විශ්වාසය පල කොට සිටියේය.

සබැඳි විෂයයන්