ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සිරිලකට පෙම් බැඳි 'ටුක් ටුක් කෙල්ල'

එංගලන්තයේ සිට පැමිණ ශ්‍රීලංකාවේ ජීවත්වන ඉංග්‍රීසි ජාතික තරුණියක් දැන් සමාජ වෙබ් අඩවි තුලින් ශ්‍රී ලාංකික තරුණ පරපුරේ සදාදරණීය මිතුරියක් බවට පත්වී සිටින්නීය.

ඇය නමින් කැසී ට්‍රේවිස් වුවද ශ්‍රී ලංකාව පුරා ප්‍රසිද්ධියට පත්වී ඇත්තේ “ටුක් ටුක් කෙල්ල” යනුවෙනි.

ත්‍රී වීලරයක නැගී ගීත ගයනා කරමින්, මග දෙපස සිටින පිරිස් වෙත මඳහස් බැල්මක් හෙලමින් කොළඹ නගරයේ සැරිසරන මේ සුන්දර යුවතිය කෙටි නිවාඩුවකට ලන්ඩනයට පැමිණි මොහොතක සංදේශය මැදිරියට පැමිණ කැසී ට්‍රේවිස් ‘ටුක් ටුක් කෙල්ල’ බවට පත් වුණු ආකාරය අපට හෙළි කළාය.

Image copyright Tuk Tuk Kella
Image caption ශ්‍රී ලංකාවටත් එහි ජීවත්වන ජනතාවටත් එසේම ත්‍රී වීලරයටත් අසීමිතව ආදරය කරන මේ යුවතිය අපේ සංචාරක කර්මාන්තය ලෝකය පුරා ගෙනයාම සඳහා යොදා ගත හැකිය

ත්‍රීරෝද පැදවීම තමන්ගේ ජීවන වෘත්තිය බවට පත්කර ගැනීම පිලිබඳ සිහින දකින ඇයට එසේ කිරීමට දැනට ඇති වීසා බලපත්‍ර සීමාවන් බාධකයක් ව පවතී. එසේම ශ්‍රී ලංකාවේ සමාජය තුළ තවමත් කාන්තාවන් එවැනි රැකියාවල යෙදීම සාමාන්‍ය දෙයක් ලෙස පිළිගැනීමට දක්වන මැලිකම පිළිබඳව ද ඇය අවබෝධ කරගෙන සිටින්නීය.

කැසී වැනි රූමත් තරුණියක් තනිවම ත්‍රීරෝද රථයක නැගී රාත්‍රියේ නගරයේ ඔබ මොබ යාමෙන් ඇගේ ආරක්ෂාව තර්ජනයක් ඇතිවේයැයි බියක් ශ්‍රී ලාංකික වැඩිහිටියන් අතර තිබුණ ද මේ දක්වා තමන්ට එවැනි කිසිදු හිරිහැරයක් සිදු වී නැති බවයි “ටුක් ටුක් කෙල්ල” පවසන්නේ.

අන්තර්ජාලයේ ජනප්‍රිය වී ඇති ‘ටුක් ටුක් කෙල්ලගේ’ යු ටියුබ් වීඩියෝ දකින විදේශිකයන්ට ශ්‍රී ලංකාව සංචාරකයන් සඳහා ආකර්ශනීය ඒ වගේම ආරක්ෂා සහිත භූමියක් ය යන පණිවුඩය ඒ තුළින් රැගෙන යයි.

Image copyright Tuk Tuk Kella
Image caption ශ්‍රී ලංකාවේ සමාජය තුළ තවමත් කාන්තාවන් එවැනි රැකියාවල යෙදීම සාමාන්‍ය දෙයක් ලෙස පිළිගැනීමට දක්වන මැලිකම පිළිබඳව ද ඇය අවබෝධ කරගෙන සිටින්නීය.

එබැවින් ශ්‍රී ලංකාවටත් එහි ජීවත්වන ජනතාවටත් එසේම ත්‍රී වීලරයටත් අසීමිතව ආදරය කරන මේ යුවතිය අපේ සංචාරක කර්මාන්තය ලෝකය පුරා ගෙනයාම සඳහා යොදා ගත හැකි අතර කවුරුන් හෝ ඇයට එම අවස්ථාව උදා කර දෙන තෙක් ඇය ඉතා අශාවෙන් බලාසිටින්නීය.

සම්ප්‍රදායික මෙන්ම ගතානුගතික අදහස් වලින් මිදී ලෝකයේ බොහෝ සමාජයන් සේම ශ්‍රී ලංකික සමාජයත් වඩා නිදහස් ආරක්ෂා සහිත සමාජයක් වේනම් ඒ මගින් ලෝකය පුරා අප රටේ නම රැව් පිළිරැව් දී ‘ටුක් ටුක් කෙල්ල’ වැනි තවත් සිය ගණනක් විදේශික සොයුරු සොයුරියන් අප රටට පැමිණ අපේ දු දරුවන් සමග එක්ව සතුටු වනු ඇති බවට සැකයක් ඇති නොවේ. එවැනි දිනයක් ලබන්නට නම් කැසී එසේ නැතිනම් ‘ටුක් ටුක් කෙල්ල’ අපේම නැගණියක්, අපේම දියණියක් ලෙස ආරක්ෂා කර ගැනීම අප සියල්ලන් ගේ වගකීමකි.

තවත් තොරතුරු වලට ඉහත හඬ පටයෙන් සවන් දෙන්න

සබැඳි විෂයයන්