දැන් අපි ලෝකයත් එක්ක, ලෝකය අපිත් එක්ක - රනිල්

Image copyright Getty

රට තුළ රැකියා දස ලක්ෂයක් බිහි කොට ශක්තිමත් මධ්‍යම පන්තියක් බිහි කිරීමට නම් නව ආර්ථික ප්‍රතිපත්තියක් ඇතිව ලෝක වෙළඳපොළට පිවිසිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අගමැතිවරයා ඒ බව කියා සිටියේ සිය තෙදින චීන නිල සංචාරය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා කොළඹ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

"ඒ රාමුව තුළ තමයි අපි එක් එක් රටවල් සමග එකඟතාවයන්ට පැමිණෙන්නේ. දැන් අපි ලෝකය එක්ක වැඩ කරනවා. ලෝකය අපි එක්ක වැඩ කරනවා," ඔහු පැවසීය.

රටේ සංවර්ධනයට සෘජු බලපෑමක් ඇති කරන ආර්ථික වැඩසටහනක් නොමැතිව යටිතල පහසුකම් පමණක් දියුණු කිරීම ප්‍රමාණවත් නොවන බවයි අගමැතිවරයා සඳහන් කළේ.

වරාය නගරයේ අයිතිය

එවැනි සංවර්ධන සැලැස්මකට අනුව යටිතල පහසුකම් සම්බන්ධ කර ගනිමින් ඇති කළ නිදහස් වෙළඳ කලාප සහ මහවැලි ව්‍යාපෘතිය අගමැතිවරයා ඊට උදාහරණ ලෙස දක්වයි.

''මහවැලි ව්‍යාපෘතියෙන් අපි විදුලි බලයෙන් සහ හාල්වලින් ස්වයංපෝෂිත වුනා. නැත්තන් ඒක වැව්, මාර්ග, ඇළවල් හදන ව්‍යාපාරයක් පමණක් නොවෙයි. ආර්ථික ක්‍රියාදාමයක් සාර්ථක කර ගන්න යටිතල පහසුකම් උපයෝගී කර ගත්තා.''

Image copyright Getty

එලෙස හම්බන්තොට වරාය සහ ගුවන් තොටුපලද රටේ ආර්ථික ක්‍රියාදාමයට එක් කර ගැනීම සඳහා චීන සමාගම්වල සහාය ලබා ගන්නා බවයි අගමැතිවරයා කියා සිටියේ.

ඒ සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව සමග එක් වන ලෙස චීන සමාගම්වලින් ඉල්ලා සිටි බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය වන්නේ නම් යෝජිත මෙගාපොලිස් නගරය එම කේන්ද්‍රස්ථානයේ ප්‍රධාන නගරය වන බවයි අගමැතිවරයා සඳහන් කළේ.

''පෝට් සිටි ව්‍යාපෘතියත් අපි ඒ තුලට ඇතුල් කරලා තිබෙනවා. ඉස්සෙල්ලා තිබුණේ මුහුද ගොඩ කරලා ගොඩනැගිලි හදන්න. ඒ සඳහා ආර්ථික පසුබිමක් තිබුණේ නැහැ. අපේ ආර්ථික සැලසුමේ තිබෙන මෙගාපොලිස් සීමාවට අපි මෙය ඇතුල් කළා.''

වරාය නගර ව්‍යාපෘතියට අදාළ පරිසරය සහ නීතිය සම්බන්ධයෙන් පැවති ගැටළු ආණ්ඩුවට විසඳීමට සිදු වූ බවත් ඔහු කියා සිටියේය.

කොළඹ වරාය නගරයේ සින්නකර අයිතිය සම්බන්ධයෙන් පැවති කොන්දේසි සංශෝධනය කිරීමට කටයුතු කළ බවයි අගමැතිවරයා පවසන්නේ.

"ඉස්සර තිබ්බේ මේ නගරයේ සින්නක්කර අයිතියෙන් කොටසක් සමාගමට දෙන්න, කොටසක් ලංකා ආණ්ඩුවට ගන්න. අපි ඒක වෙනස් කළා. අපි කියා සිටියා ඒකාබද්ධ සමාගමකට අපි අවුරුදු අනූ නවයකට බද්දට දෙන්නම්, ඒකයි අපේ ප්‍රතිපත්තිය කියලා," අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර