ජයරළපුරට 'දිනකට වතුර කල දෙකක සීමාවක්'

පානීය ජලය සහ වෙනත් දෛනික කටයුතුවලට අවශ්‍ය ජලය සපයා ගැනීම සඳහා මසකට රුපියල් තුන්දහසකට අධික මුදලක් වැය කිරීමට සිදු වී ඇති බව මාතර වැලිගම ජයරළපුර ගම්වාසීහු පවසති.

ගම්මානයේ පදිංචි මුළු පවුල් සංඛ්‍යාව හතළිස් පහකට ආසන්නයි.

දෙදහස වසරේදී රජය විසින් තමන් ගම්මානයේ පදිංචි කරවූ දා පටන් මේ දක්වා ජල ගැටලුවෙන් පීඩා විඳින බවයි ගම්වාසීන් කියා සිටින්නේ.

මෙතෙක් ඒ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ගේ අවධානය යොමු වී නැති බවට චෝදනා කරන ගම්වැසියන් තම ජල ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා සෙනසුරාදා වැලිගම රබියල්ගේවත්ත අසලදී විරෝධතාවක් සංවිධානය කොට තිබිණි.

සිය ජල අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ජයරළපුර ජනතාවට සැතපුම් භාගයක් පමණ දුරකින් පිහිටි ළිඳකට යා යුතු අතර එම ළිඳෙන් දිනකට ලබා ගැනීමට අවසර ඇත්තේ වතුර කල දෙකක් පමණක් බව ඊ ඒපි පඥාදාස කියා සිටියේ.

කඳු ගැටය ඔස්සේ තම ගම්මානය වෙත වතුර කල දෙකක් ගෙන්වා ගැනීම සඳහා දිනකට රුපියල් විසි පහක් වැය වන බවයි ඔහු සඳහන් කළේ.

'දිනකට රුපියල් 25 ක්'

'අපිට අවශ්‍ය දෛනික කටයුතු සඳහා ජලය ලබා ගැනීමට නාන ළිඳට යන්න ඕන. ඒකේ වතුර බොන්න බැහැ. ඒකෙන් ගෙදර වැඩට වතුර ලීටර් 20 බැරල් 5 ක් ගෙන්වා ගැනීමට රුපියල් 100ක් ත්‍රිවීල් එකට ගෙවන්න වෙනවා.' තනුජා දමයන්ති කියා සිටියාය.

ජීවන අරගලයට මුහුණ දී සිටින තමන්ට ජලය සඳහා පමණක් මෙවැනි අධික මුදලක් දැරීමට හැකියාවක් නොමැති බව විරෝධතාවට එක් වූ පිරිස් කියා සිටියහ.

ජයරළපුර ප්‍රදේශයේ ජනතාව මුහුණ පා සිටින ජල ගැටලුව පිළිබඳ සංදේශය වෙනුවෙන් රාහුල් සමන්ත හෙට්ටිආරච්චි කළ විමසීමකදී මාතර දිස්ත්‍රික් ලේකම්වරිය ඊඒසි විදානගමාච්චි ප්‍රකාශ කළේ ඒ සඳහා විසඳුම් ලබා දීමට සැලසුම් සකස් කොට ඇති බවයි.

ගම්මානය උස් බිමක පිහිටි නිසා ඒ වෙත ජලය ලබා දීමට විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති බවත් ප්‍රතිපාදන ලැබුණු වහාම අදාළ ප්‍රදේශයට ජලය ලබා දීමට කටයුතු කරන බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර