පැනමා ලිපිගොණු: ලෝක බදු නිලධාරීහු පැරීසියේ දී රැස්වෙති

Image copyright Reuters
Image caption පැනමා වංචා විමර්ෂණ අංශය විසින් මොසැක් ෆොන්සේකා සමාගම පරීක්ෂාවට ලක් කර තිබේ

බදු ගෙවීම මගහැර සිටීම සහ බදු වංචා වලට අදාළ ගෝලීය ප්‍රතිචාරය පිළිබඳව සලකා බැලීම පිණිස ආර්ථික සහයෝගීතාව හා සංවර්ධනය පිළිබද ලෝක සංවිධානයේ බදු නිලධාරීහු අද පැරීසියේ දී රැස්වෙති.

මීට දින කිහිපයකට ඉහත දී පැනමා රාජ්‍යයේ මොසැක් ෆොන්සේකා සමාගමේ වසර හතළිහක ගණුදෙනු පිලිබඳව වූ ලිපිගොණු අතිවිශාල ප්‍රමාණයක් එළිදැක්වීමෙන් පසු ඇතිවූ තත්වයන් පිළිබඳව ප්‍රතිචාර දැක්වීම සඳහායි මෙම හමුව සංවිධානය කර ඇත්තේ.

මෙම සාකච්ඡාව සංවිධානය කළ ඔස්ට්‍රේලියාව පැවසුවේ ඉදිරියේ දී රටවල් අතර සිදුකෙරෙන එවැනි ගණුදෙනු සම්බන්ධව දත්ත හුවමාරු කර ගැනීමේ එකඟතාවයකට පැමිණිය හැකි වනු ඇති බවයි.

මේ අතර පැනමාවේ නීතිපතිවරයා විසින් අදාළ නීති කටයුතු පිලිබඳ සමාගම පරීක්ෂාවට භාජනය කරනු ලැබ ඇත්තේ නීති විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව සාක්‍ෂි සොයා ගැනීම පිණිසයි.

මොසැක් ෆොන්සේකා සමාගම චෝදනාවට ලක්වුයේ බදු ගෙවීමෙන් නිදහස් වී සිටීමට සහ බදු වංචා සඳහා සහය දුන් බවටයි.

එහෙත් සමාගමේ ආරම්භක කොටස්කරුවෙකු වන රේමන් ෆොන්සේකා පැවසුවේ තම සමාගම විසින් කිසිදු නීති විරෝධී ක්‍රියාවක් හෝ ලිපිගොණු සැඟවීමක් කර නැති බවයි.