නයිජීරියාවේ දී පැහැරගැනුණු පාසැල් සිසුවියන් වීඩියෝවක

Image copyright AFP
Image caption , යානා ගලාන්(Yana Galang) ගේ දියණිය රිෆ්කාටු (Rifkatu) එම වීඩියෝවේ දර්ශනය වන බවට හඳුනාගෙන තිබේ

නයිජීරියාවේ බොකෝ හරාම්(Boko Haram) ඉස්ලාම් කණ්ඩායම විසින් නිකුත් කරන ලද වීඩියෝවක වසර දෙකකට පෙර ඔවුන් විසින් පැහැර ගනු ලැබූ චිබොක් (Chibok) නගරයේ පාසැල් සිසුවියන් පෙනීසිටින බව වාර්තා වේ.

දෙසැම්බර් මාසයේ දී පටිගතකළ බවට සැලකෙන එම වීඩියෝව නයිජීරියානු රජය වෙත එවනු ලැබ ඇති අතර කළු ලෝගු වලින් සැරසුණු එම ගැහැණු ළමුන් 15 දෙනා පැහැර ගනු ලැබූ සිසුවියන් බවටයි විශ්වාසය පළ කෙරෙන්නේ.

වීඩියෝවේ දර්ශනය වන ඇතැම් සිසුවියන් ඔවුන්ගේ දෙමව්පියන් විසින් හඳුනාගනු ලැබ තිබේ.

පැහැර ගැනීමට ලක් වූ ගැහැණු ළමුන් 276 දෙනා පිළිබඳව ලෝක වධානය යොමු වූ අතර ඇමරිකානු ජනාධිපති ආර්යාව වන මිචෙල් ඔබාමා ප්‍රමුඛ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ මැදිහත්වීමෙන් සමාජ ජාලා ක්‍රියාධරයන් විසින් "BringBackOurGirls" නමින් මාධ්‍ය වැඩසටහනක් ද ආරම්භ කෙරිණි.

කෙසේවුවද එම ගැහැණු ළමුන්ගෙන් වැඩි පිරිසක් තවමත් අතුරුදහන් ව සිටී.නයිජීරියාවේ පැහැරගැනුණු සිසුවියන් වීඩියෝවක

මේ අතර සියගණනක් දෙමව්පියන් විසින් නයිජීරියාවේ අබුජා අගනගරයේ දී පාගමනක් සංවිධානය කර ඇත්තේ මේ ගැහැණු ළමුන් සොයා ගැනීම සම්බන්ධයෙන් තවත් උත්සාහ කරන ලෙසට රජයට බල කිරීමටයි.

අබුජා වල සිටින බීබීසීයේ මාර්ටින් පෙෂන්ස්(Martin Patience) පවසන්නේ මෙම පැහර ගැනීම සිදුවූ විට නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් එවකට පැවති රජය විවේචනය ලක්වී ඇති අතර ඔවුන් බේරා ගැනීමට අදාළ පියවර නොගන්නේ යැයි වර්තමාන රජයද විරෝධතාකරුවන් ගේ දෝෂදර්ශනයට ලක් වී ඇති බවයි.

බොකෝ හරාම සන්නද්ධකරුවන් විසින් 2014 අප්‍රේල් 14 වැනිදා රජයේ නේවාසික පාසැලකට ප්‍රහාර එල්ලකළ අතර විභාගය සඳහා එහි ගොස් සිටි සිසුවියන් පැහැරගෙන ගියහ.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
සිසුවියන් පැහැරගනු ලැබූ පාසැලේ ඇතුළත දැක්වෙන වීඩියෝවක්

පැහැරගැනීමෙන් පසු වීඩියෝවක් නිකුත්කළ බොකෝ හරාම් සන්නද්ධකරුවන් සිරකරුවන් පිරිසක් සමග ඔවුන් හුවමාරු කර ගැනීමටයි උත්සාහ කළේ.

බොකෝ හරාම් නායක අබුබකර් ශේකෞ (Abubakar Shekau) තර්ජනය කළේ එම ගැහැණු ළමුන් ඉස්ලාම් ආගමට හරවා බලහත්කාරයෙන් ඉස්ලාම් සන්නද්ධකරුවන් සමග විවාහ කරවන්නට සැලැස්වීම හෝ වහලුන් ලෙස විකුණා දැමීම සිදුවනු ඇති බවටයි.

මාස ගණනක් ගතවෙද්දී සිසුවියන් 57 දෙනෙකු ඔවුන්ගේ අත්අඩංගුවෙන් බේරී පලා ඒමට සමත් වූ අතර අවම වශයෙන් 219 දෙනෙකු තවමත් අතුරුදහන් ව සිටී.

Image copyright AFP
Image caption පැහැරගත් පසු එම ගැහැණු ළමුන් පෙනීසිටින වීඩියෝවක් බොකෝ හරාම සංවිධානය විසින් නිකුත් කොට තිබුණි