අයින්ස්ටයින් සහ හෝකින්ග්ස් පරදවා බුද්ධි පරීක්ෂණයට ලකුණු ලබා ගත් අයුම්

අයුම් අමීන්
ලොව බිහිවූ අද්විතීය ම බුද්ධිමතුන්ටත් වැඩියෙන් බුද්ධි පරීක්ෂණයකට ලකුණු ලබා ගත් වයස අවුරුදු එකොළහක දරුවෙකු පිළිබඳ පුවතක් බටහිර ලන්ඩනයෙන් වාර්තා වෙයි.
අද්විතීය භෞතික විද්‍යාඥ ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ග්ස් 'මෙන්සා' බුද්ධි පරීක්ෂණයෙන් ලබා ගෙන ඇති ලකුණු ප්‍රමාණයට වඩා ලකුණු දෙකක් වැඩිපුර ලබා ගැනීමට අයුම් අමීන් නම් මෙම එකොළොස් හැවිරිදි දරුවා සමත් වී තිබේ.
අයුම් අමීන්ගේ දෙමව්පියන් ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ සිට ලන්ඩන් නුවර පදිංචියට පැමිණ මේ වන විට වසර නමයක් ගතව තිබේ.
'මෙන්සා' ජාත්‍යන්තර බුද්ධි මිනුම් ආයතනයේ (Mensa the high IQ society) පරීක්ෂණයෙන් අයුම් අමීන් ලබා ගෙන ඇති ඉහළ ලකුණු ප්‍රමාණයට අනුව ඔහු ලොකයෙන් 1%ක් තරම් ඉතා සීමිත ප්‍රමාණයක් පමණක් ඇතුළු වන බුද්ධිමත්ම මිනිසුන් අතරට එක් වෙයි.
අයුම් අමීන් සිය මව සහ පියා සමග
ඉතා ව්‍යාකූල 'රූබික්' කැටයක් මිනිත්තු දෙකක් වැනි සුළු කාලයක් තුළ විසඳන අයුම් ඔහුගේ සම වයසේ දරුවන් මෙන්ම 'ස්ටාර් වෝස්' චිත්‍රපටියට දැඩි ආශාවක් දක්වයි.
කෙසේ වෙතත් 'මෙන්සා' ජාත්‍යන්තර බුද්ධි මිනුම් ආයතනය අයුම් වෙත ලිපියක් එවමින් දන්වා සිටියේ ඔහු බුද්ධි පරීක්ෂණය වෙනුවෙන් ලකුණු එක සිය හැට දෙකක් ලබා ගෙන ඇති අතර ලොව 1%ක් පමණක් වන බුද්ධිමත්ම මිනිසුන් අතළොස්සට ඇතුළත් වන බවයි.
'ඇල්බර්ට් අයින්ස්ටයින්, ස්ටීවන් හෝකින්ස් කියන්නේ මගේ ලෝකේ වීරයෝ, ඉතින් මම බුද්ධි පරීක්ෂණයට වැඩිපුර ලකුණු ගත්තයි කියලා ඒ අයට වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. ඔවුන් ලෝකේ අද්විතීය මිනිසුන් ලෙස සලකන්නේ ඔවුන් ලෝකය වෙනුවෙන් කළ නිර්මාණ සහ සොයා ගැනීම් නිසයි, ඉතින් මටත් ඕනේ කවද හරි ඒ වගේ වෙන්න.' අයුම් සිය බුද්ධි පරීක්ෂණ ප්‍රතිඵල සම්බන්ධයෙන් අදහස් දැක්වීය.
අයුම්ගේ පියා බීබීසිය සමග අදහස් දක්වමින් කියා සිටියේ සිය පුතුට දැනුම ලබා ගැනීමේ නොනිමි පිපාසයක් ඇති අතර ඔහු නිරන්තරයෙන් කුතුහලය දනවන කරුණු ප්‍රශ්න කරන බවයි.