ඉන්දියානු ව්‍යාඝ්‍රයන් පිටරටවල පදිංචි කිරීමේ සැලැස්මක්

Image copyright PA
Image caption ලෝකයේ වත්මන් කොටිගහනයෙන් අඩකට වැඩිපුර සංඛ්‍යාවක් වෙසෙන්නේ ඉන්දියාවේ.

ලෝකයේ දැනට ජීවත් වෙන ව්‍යාඝ්‍රයන්ගේ සංඛ්‍යාව වැඩිකර ගනු ලැබීමේ සැලැස්මක් වශයෙන් ඉන්දියානු කොටින් කාම්බෝජයේ ද ව්‍යාප්ත කිරීම පිළිබඳව සත්ව විද්‍යාඥයෝ සලකා බලමින් සිටිති.

ව්‍යාඝ්‍රයන් වාසභූමි කරගත් ආසියානු රටවල් දහතුනක අමාත්‍ය මට්ටමේ සාකච්ඡාවක් අප්‍රියෙල් 13 වෙනි දින දිල්ලි නගරයේ පැවැත්වුන අතර එම ජීවීන් වෙනත් රටවලද බෝ කිරීමේ අදහසට මූලධර්ම මට්ටමින් එකඟ වූ බවයි වාර්තා වන්නේ.

එම සැලසුම අනුව සිදු කෙරෙන්නේ දැනට ව්‍යාඝ්‍රයන් හොඳින් වැඩෙන රටවලින් ඔවුන් දැනටමත් වඳ වී ඇති රටවලට ගෙන ගොස් ඒවායේ පදිංචි කරවීමයි.

ලෝකය පුරා ජීවත් වෙතැයි ඇස්තමේන්තු කර තිබුණ ව්‍යාඝ්‍ර සංඛ්‍යාව මේ සියවස තුළ පළමු වතාවට ඉහළ ගොස් ඇති බවයි වන සත්ව සංරක්ෂණය වෙනුවෙන් කටයුතු කරන්නන් පවසන්නේ.

2010 වසරේ ලෝකයේ ජීවත් වූ ව්‍යාඝ්‍ර සංඛ්‍යාව 3200 ක් යයි වාර්තා කෙරුණ අතර දැන් එම සංඛ්‍යාව 3900 කට ආසන්න වේ යයි ඇස්තමේන්තු කෙරෙයි.

ඉන් 2,226 ක් ජීවත් වන්නේ ඉන්දියාව තුළයි.

ව්‍යාඝ්‍රගහනය නංවා ලීමට කටයුතු කරන ජාත්‍යන්තර ප්‍රයත්නයේ ඉලක්කය එම සංඛ්‍යාව 2022 වනවිට දෙගුණයක් කර ගැනීමයි.

ඉන්දියානු ව්‍යාඝ්‍රයාට අතිරේකව රුසියාවේ 'අමූර්' ව්‍යාඝ්‍රවර්ගයා කසකස්තානයේ යලි පදිංචිකිරීම ද ඉහත කී සැලැස්මට ඇතුළත් වෙයි.

කසකස්තාන් ව්‍යාඝ්‍රවර්ගයා මේ වන විට සහමුලින්ම වඳ වී ගොස් ඇති බවයි වන සත්ව සංරක්ෂකයන් පෙන්වා දෙන්නේ.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
තර්ජනය නිම නැහැ

ව්‍යාඝ්‍ර වර්ගයා රැක ගැනීමට ගත හැකි එක් පලදායී පියවරක් හැටියට ඔවුන් වෙනත් රටවල යළි බෝකරනු ලැබීම දිල්ලි සමුළුව විසින් හඳුනා ගන්නා ලද බව ව්‍යාඝ්‍රයන් වඳ වී යාම වළක්වා ගැනීම සඳහා කටයුතු කිරීමට පිහිටුවා ගෙන ඇති රාජ්‍ය නොවන සංවිධානයක් වන ජගත් ව්‍යාඝ්‍ර සංසදයේ ප්‍රධාන ලේකම් රාජේෂ් ගෝපාල් බීබීසියට ප්‍රකාශ කළේය.

ව්‍යාඝ්‍රයන් සඳහා ප්‍රමාණවත් ගොදුරු සහතික කර ගනු ලැබීමෙන් සහ අවශ්‍ය වාසභූමි පිළියෙළ කරනු ලැබීමෙන් අනතුරුව ඔවුන් වෙනත් රටවල පදිංචි කරවන බවයි රාජේෂ් ගෝපාල් පවසන්නේ.

ඉන්දියාවේ පරිසර ඇමති ප්‍රකාෂ් ජව්දෙකාර් බීබීසියට අදහස් දක්වමින් කියා සිටියේ 'ව්‍යාඝ්‍රයන් සංරක්ෂණය සඳහා සියලුම රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දියාව සූදානම්'බවයි කියා සිටියේ.

ඉන්දියාවේම අළුත් තැන් වලත් ව්‍යාඝ්‍රයන් පදිංචි කළ හැකි බව ජගත් ව්‍යාඝ්‍ර සංසදයේ ප්‍රධාන විධායක නිලධාරී කේෂව් වර්මා පවසයි.

සබැඳි විෂයයන්