දකුණු ජපානයේ කුමමොතෝ නගරයේ තවත් බලගතු භූමිකම්පාවක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
අනතුරු ඇඟවීමකින් පසුව ආරක්‍ෂිත ස්ථානයක් සැඟවෙන්නේ කෙසේද යන්න ජපානවාසීන්ට දැන් සුපුරුදු අත්දැකීමකි
ජපානයේ කුමමොතෝ නගරයේ බ්‍රහස්පතින්දා හටගත් භූමිකම්පාවෙන් නමදෙනකු මියයාමෙන් අනතුරුව, සිකුරාදා රාත්‍රියේ තවත් බලගතු භූමිකම්පාවක් හටගත්තේය.
ජපානයේ වේලාවෙන් සෙනසුරාදා අලුයම 01:25 ට (ග්‍රිනිච් වේලාවෙන් 16:25 ට) රික්ටර් මාපකයෙන් 7.1 ක භූමිකම්පාවක් හටගත් අතර, ඉන්පසුව පසු කම්පන කිහිපයක්ද ඇතිවිය.
ඒ සමඟම සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කෙරුණු නමුත් පසුව එය ඉවත් කෙරිණ.
ජපානයේ නිරන්තරයෙන් භූමිකම්පා හටගන්නා නමුත් ගොඩනැගිලි ඉදිකිරීමේදී අනුගමනය කරන දැඩි ආරක්‍ෂිත ක්‍රියාදාමය හේතුවෙන් එම භූමිකම්පාවලින් බොහෝවිට කිසිවෙකුටත් අනතුරක් සිදු නොවේ.
බ්‍රහස්පතින්දා හටගත් රික්ටර් මාපකයෙන් 6.2 ක් සටහන් වූ භූමිකම්පාව මගින් ඇතැම් ප්‍රදේශවල 2011 දී හටගත් බරපතල භූමිකම්පාව තරම් කම්පනයක් ඇති වූ බවයි, බලධාරීන් පවසන්නේ.

2011 භූමිකම්පාවෙන් අනතුරුව සුනාමියක් හටගත් අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ෆුකුෂිමා න්‍යෂ්ඨික බලාගාරයද අනතුරට ලක්විය.
බ්‍රහස්පතින්දා හටගත් භූමිකම්පාවෙන් දහසකට අධික පිරිසකට තුවාල සිදුවිය.
එමෙන්ම 40,000 කට ආසන්න පිරිසක් සිය නිවාස අතහැර පලා ගිය අතර, භූමිකම්පාවේ මධ්‍ය ලක්ෂ්‍යය ආසන්නයේ වෙසෙන බොහෝ දෙනා සිය නිවෙස්වලින් බැහැරව රාත්‍රිය ගතකළහ.

ජපානයට භූමි කම්පාවක්
රික්ටර් මාපකයේ 6.4 ක් ලෙස සටහන් වූ භූමිකම්පාවකින් ජපානයේ දකුණුදිග ප්‍රදේශයේ නිවාස කිහිපයක් කඩා වැටී තිබෙන අතර බොහෝ දුරට සුන්බුන් අතර මිනිසුන් සිරවී ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.