'භූමිකම්පාවලින් අපට හානියක් නැහැ' -කුමමොතෝ ශ්‍රී ලාංකිකයෝ

Image caption කුමමොතෝ හි පදිංචි චම්පික වෛද්‍යරත්න සහ රසික සුජීව එදිරිසිංහයි භූමිකම්පා සිදු වූ මොහොතේ අත් දැකීම් සහ දැනට එම ප්‍රදේශයේ පවතින තත්වය පිළිබඳව තොරතුරු සංදේශයට හෙළිකළේ

ජපානයේ සිදුවූ ප්‍රබල භූමිකම්පා දෙක හේතුවෙන් කුමමොතෝ ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදු වී නැති බව එහි පදිංචි වී සිටින ශ්‍රී ලාංකිකයෝ පවසති.

කුමමොතෝ හි පදිංචි චම්පික වෛද්‍යරත්න සහ රසික සුජීව එදිරිසිංහ සංදේශය සමග දුරකථන සංවාදයකට එක් වෙමින් භූමිකම්පා සිදු වූ මොහොතේ අත් දැකීම් සහ දැනට එම ප්‍රදේශයේ පවතින තත්වය පිළිබඳව තොරතුරු හෙළි කළහ.

"මම ඒ වෙලාවේ හිටියෙ අපේ ෂොප් එකේ. එක පාරට රාක්ක වල තිබුණු බඩු පෙරලිලා හෙළ වෙන්න පටන්ගත්ත. කස්ටමර්ස්ලත් හිටපු කට්ටිය බය වුණා. මොකද මෙහෙ පලවෙනි අත්දැකීම. සාමාන්‍යයෙන් හිටපු ගමන් පොඩ්ඩක් හෙල්ලෙනවා. ඒවා එතරම් ගන්නන්න ඕන දේවල් නොවෙයි. ඒත් මේක හතක් විතර නේ ආවේ" යනුවෙන් පැවසූ චම්පික වෛද්‍යරත්න කුමමොතෝ ප්‍රදේශයේ සිටින විසි පස් දෙනෙකු පමණ වන ශ්‍රී ලාංකිකයන්ගෙන් කිසිවෙකුට කිසිදු හානියක් සිදු වී නැති බවයි අවධාරණය කළේ.

එහෙත් නගරයේ ඇති ශ්‍රී ලංකික අවන්හල් හතරට අලාභානි සිදුවී ඇති බව පැවසූ චම්පික විදුලිය සහ ජලය නැතිකම දැනට ඇති ප්‍රධානම ප්‍රශ්ණය බවයි සඳහන් කළේ.

ඒ අතරම 'පසු කම්පන' නමින් හැඳින්වෙන කුඩා භූචලන රැසක් ප්‍රධාන භූමිකම්පා දෙකට අමතරව සිදුවෙමින් පවතින බවද ඔවුන් ඇතුළු ප්‍රදේශයේ ජනතාව නිවෙස් තුළ නිදා ගැනීමට බියක් දක්වන හෙයින් මෝටර් රථ තුළ හෝ එළිමහන් ස්ථානවල රැය පහන් කරන බවයි සංදේශයට පවසා සිටියේ.

දෙවන වරට සිකුරා දා සිදු වූ භුමි කම්පාව වඩාත් කාලයක් පැවතුන බව පැවසූ කුමමොතෝ හි පදිංචි ශ්‍රී ලාංකිකයෙකු වන සුජීව එදිරිසිංහ කියාසිටියේ මෙලෙස අදහස් දක්වන්නට තමාගේ ජීවිතය ඉතිරිවීම වාසනාවක් බවයි.

"පොල් ගහක් ගලවන්න හදන කොට වගේ මුළු ගේම හෙලවෙන්න පටන් ගත්ත. මම තට්ටු තුනක් උස ගොඩනැගිල්ලක ඉන්නෙ. එලියට ඇවිල්ල 'ග්‍රවුන්ඩ්' එකට ආවට පස්සෙත් ඒ වගේ දෙක තුනක් විටින් විට ආව, මං ගාව ලංකාවේ අය හත් දෙනෙක් වැඩ කරනව. ඒ අයටත් පුංචි තුවාලයක් වත් නෑ" යනුවෙනුයි සුජීව එදිරිසිංහ වැඩිදුරටත් කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර