එක්වදෝර් භූමිකම්පාව: මරණ සංඛ්‍යාව 350 දක්වා ඉහළට

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
භූමිකම්පාවට හසු වී කඩාවැටුණු පාලමකට යට වූ මෝටර් රථයක සිටි පුද්ගලයකු මරුමුවට පත් වී තිබේ

එක්වදෝරයේ හට ගත් ප්‍රබල භූමිකම්පාවට හසු වී මරුමුවට පත් පුද්ගලයන් සංඛ්‍යාව 350 දක්වා ඉහළ ගොස් තිබේ.

දශක ගණනාවකට පසු එක්වදෝරය මුහුණ දුන් දරුණුතම භූමිකම්පාව මෙය වන අතර ඊට ගොදුරු වී තුවාල ලත් පිරිස 1500 ඉක්මවති.

භූමිකම්පාව හේතුවෙන් විපතට පත් ප්‍රදේශ වෙත හමුදා භටයන් 10,000 සහ පොලිස් නිලධාරීන් 3,500 ක් පිටත් කොට හැර ඇති බවයි බලධාරීන් පවසන්නේ.

ඉරිදා ඇති වූ භූමිකම්පාව රික්ටර් මාපකයේ සඳහන් වූයේ 7.8 ක් ලෙසයි.

Image caption භූමිකම්පාවේ මධ්‍යය ලක්ෂය වයඹ දිග එක්වදෝරයේ පිහිටි මුයිස්න් නගරය ආසන්නයේ පිහිටා ඇත

භූමිකම්පාවේ මධ්‍යය ලක්ෂය වයඹ දිග එක්වදෝරයේ පිහිටි මුයිස්න් නගරය ආසන්නයේ පිහිටා ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව බලධාරීහු කියා සිටිති.

සිය ඉතාලි සංචාරය අවලංගු කිරීමට කටයුතු කළ ඉක්වදෝර ජනාධිපති රෆායල් කොරෙයා රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශ කළේය.

දිවි බේරා ගත් පිරිස් සෙවීම සඳහා ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවයි ජනපතිවරයා කියා සිටියේ.

'සියලු දේ යළි ගොඩනැගිය හැකියි. නමුත් මෙහි ඇති වඩාත්ම වේදනාකාරී තත්වය නම් මිනිස් ජීවිත යළි ගොඩ ගත නොහැකි වීමයි' ඔහු පැවසීය.

Image copyright AP
Image caption සහන සේවා ක්‍රියාත්මක අතර මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට බිය පළ වේ
Image copyright AFP
Image caption භූමිකම්පාවට හසු වූ ඇතැම් ගොඩනැගිලි සම්පුර්ණයෙන්ම විනාශ වී තිබේ
Image copyright AFP
Image caption ඇතැම් ගොඩනැගිලිවලට දැඩි හානි සිදු වී ඇත
Image copyright Reuters
Image caption පොලිස් සහ හමුදා භටයන් සහන සේවා සඳහා යොදවා තිබේ

විපතට පත් ප්‍රදේශ වෙත ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පිටත් කොට යවා ඇති අතර වෙනිසියුලාව සහ මෙක්සිකෝව ඇතුළු අනෙකුත් රටවල් ආධාර ලබා දීමට ඉදිරිපත් වී තිබේ.

එක්වදෝරය වෙත පුහුණු සුනඛයන් රැගත් සහන කණ්ඩායම් පිටත් කොට ඇති බව කොලොම්බියාව නිවේදනය කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර