ජපාන භූමිකම්පාව
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජපාන භූමිකම්පාව: 250,000 කට නිවෙස්වලින් ඉවත් වීමට නියෝග

තවදුරටත් භූකම්පන ඇති විය හැකි බවට පවතින බිය හේතුවෙන් ජපාන වැසියන් දෙලක්ෂ පනස් දහසකට ආසන්න පිරිසකට සිය නිවෙස්වලින් ඉවත් වී ආරක්‍ෂිත ස්ථාන කරා යන ලෙස දන්වා ඇති බව ආධාර ආයතනයක් පවසයි.

තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන වෙත අතිරේක වෛද්‍ය කණ්ඩායම් පිටත් කොට ඇති බවයි ජපාන රතුකුරුස සමාජයේ උපදේශකයකු වන නඕකි කොකාවා කියා සිටියේ.

ජපානයට අයත් නිරිත දිග කියූෂූ දූපතේ ඇති වූ ප්‍රබල භූමිකම්පා දෙකට හසු වී අවම වශයෙන් හතළිස් දෙදෙනකුවත් මරුමුවට පත් විය.

ඉදිරි දින කීපය තුළ තවත් භූකම්පන ඇති විය හැකි බවට ජපානයේ කාලගුණ විද්‍යා ආයතනය අනතුරු හඟවා ඇත.

සති අන්තයේ හට ගත් භූමිකම්පා හේතුවෙන් දහසකට වැඩි පිරිසක් තුවාල ලැබූ අතර ගොඩනැගිලි, නිවාස, මහාමාර්ග සහ පාලම් ඇතුළු යටිතල පහසුකම්වලට දැඩි හානි සිදු විය.

දිවි බේරා ගත් පිරිස් සෙවීම සඳහා සහන සේවකයන් තිස් දහසක් යොදවා ඇති අතර එකොළොස් දෙනකු තවමත් අතුරුදහන් වී සිටින බවයි පොලිස් වාර්තා උපුටා දක්වමින් එන්එච්කේ පුවත් ආයතනය නිවේදනය කළේ.